17072024Wed
Last update:Wed, 08 May 2024

මහා සංඝ පීතෘවර සෝභිත නා හිමි

maha 09 11අවිඳු අඳුර දුරලා ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනය හා උතුම් මානව නිදහස රජයන ගරු සරු දැහැමි දැයක් බිහි කිරීමේ අරගලයට පුරෝගාමී නායකත්වය සැපැයූ අපේ කාලයේ මහා සංඝ පීතෘවරයාණෝ ලෙස විරුදාවලිය ලත් සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු හා කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ ඊයේ(8) අලුයම සිංගප්පූරුවේ මවුන්ත් එළිසබෙත් රෝහලේ දී අපවත්වී වදාළ බව සාතිශය සංවේගයෙන් යුතුව ‘දිනමිණ’ වාර්තා කර සිටියි.

බොදු ජනතාවගේ මෙන්ම ලක්වැසි සර්ව ආගමික ජනතාවගේ ජන හදවත්වල නින්නාද දුන් ජාතිය අවධි කිරීමට පණ දුන් හඬ අද මෙසේ නිහඬවීම මුළු මහත් ජාතියම කම්පාවට පත් කළ සිදුවීමකි.

පුරා දශක හතක් ඉක්මවා ගිය තම පැවැදි ජීවිතයම සමාජ, ආර්ථික ප්‍රගමනය උදෙසා කැප කළ මාදුළුවාවේ සෝභිත නා හිමියෝ ලක්වැසි සැමට සමානව සලකන, නිදහස් හා සාධාරණ සමාජයක් බිහි කිරීමට විවිධ බාධක , කම්කටොළු මැද නායකත්වය ලබා දුන්හ.

අපවත් වන විට 73 වැනි වියේ පසු වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පසුගිය දින කිහිපයේ බරපතළ ලෙස දුර්වල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක හදවත් සැත්කමකට බඳුන් කරනු ලැබූහ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය තුන් වැනි දා සිංගප්පූරුව බලා වැඩමවාගෙන යනු ලැබූහ. ඒ සිංගප්පූරුවේ විශේෂ ගුවන් යානයකිනි. සිංගප්පූරුවේ දී එරට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ සහ ලංකාවේ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සෝභිත හිමියන් ප්‍රතිකාර ලැබූහ.

1942 මැයි 29 වනදා හෝමාගම පාදුක්ක මාදුළුවාව ගම් පියසේදී දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා ලෙස සෝභිත හිමියෝ උපත ලැබූහ. සෝභිත හිමියන්ගේ ගිහි නම පී. ඩී. රත්නසේකරය. පියා පතිරගේ දොන් අප්පුහාමි වන අතර මව කරලිනාහාමි ය. සෝහිත හිමියන් පැවිදි බිමට එළැඹුනේ 1955 වසරේ මැයි 9 වන දා කෝට්ටේ නග විහාරයේදීය. උන්වහන්සේ ගුරු දේවයානන් වූයේ මුල්ලේරියාවේ ශ්‍රී රේවත හිමියෝය. උපාධ්‍යායන් වහන්සේලා වූයේ දේවහන්දියේ සද්ධාතිස්ස සහ අංගම්පිටියේ ගුණරතන හිමිවරුන්ය. 1962 වසරේදී උපසම්පදාව ලද උන්වහන්සේ 1963 වසරේ විද්‍යාලංකාර සහ වි‍‍ද්‍යෝදය විශ්ව විද්‍යා‍ලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකර ගත්තේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී මහා ශිෂ්‍ය සංගමයෙ සභාපති ලෙස කටයුතු කළ නා හිමියෝ 1975 අමද්‍යප ව්‍යාපාරයේ සභාපති , සමස්ථ ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ සභාපති, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, මව්බිම සුරකීමේ සංවිධානයේ සභාපති, ජාතික වීර පදනමේ සභාපති, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ අනුශාසක, සිංහල බල මණ්ඩලයේ සභාපති ලෙස මෙන්ම පුවත්පත් නිදහස වෙනුවෙන්ද හඬ නැගූහ. සුනාමි අපාදා අවස්ථාවේ පැරෑලිය ජනතාවට නිවාස ඉදිකරදීමටත් අනුරාධපුරය දිස්ත්‍රික්කයෙ පල්ලච්චියෙ ඇලපත්ගම කියන ගමේ වැව සහ පන්සලක් හා මාර්ගයක් ඉදිකිරීම වැනි මෙහෙවර රැසක් සෝභිත නා හිමියෝ ඉටු කළහ.

උඩුගල කන්දේ අරියරතන ,කැලණියේ සෝරත, වත්තල දමිත යන හිමිවරුන් උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වූහ.

යුද්ධය අවසන් කිරීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙස මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීම් කළ සෝභිත හිමියෝ පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා කැපවී ක්‍රියා කල අතර ඉන් පසුවත් ස්වාධීක කොමිෂන් සභා හැකි ඉක්මණින් ස්ථාපිත කරන ලෙස හා ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙස වර්තමාන ආණ්ඩුවට ද බල කළ යථිවරයෙකි.

විචිත්‍ර ධර්ම කථිකයෙක් මෙන්ම පරිත්‍රාණ ධර්ම කථිකවයෙකු වූ උන්වහන්සේ බොහෝ ධර්ම කථික භික්ෂුන් වහන්සේලා ද ගුරුකොට ගත්තේය. තවද සෝභිත නා හිමියෝ මෙරට ආගමික හා ශාසනික මෙන්ම රට ජාතිය වෙනුවෙන් උදාර මෙහෙයක් ඉටු කළ සංඝ පීතෘවරයෙකි. සෝභිත නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය විසින් තීරණය කර තිබේ.