17072024Wed
Last update:Wed, 08 May 2024

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම පිලිබඳ ජනාධිපතිතුමාගේ ශෝක පණිවුඩය

Maduluwawe Sobhitha Theroඅතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ පුවත මුළු මහත් ජාතියෙහිම සංවේගයට හේතුවකි.

බෞද්ධ ජනතාවගේ පමණක් නොව සියලූ ආගමිකයින්ගේ හා ලක්වැසි සියලූ ජාතීන්ගේ ගෞරව බහුමානයට ලක් වූ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ සමාජ හා ශාසනික උන්නතිය, ආගමික සහජීවනය පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාංග රට තුළ තහවුරු කිරීම උදෙසා අප්‍රතිහත ධෛර්යකින් යුක්තව පෙනී සිටි අභීත යතිවරයාණන් වහන්සේ නමක් ලෙස සමස්ත ශී්‍ර ලංකාවාසී ජනතාවගේ ගෞරවය දිනා සිටියහ.

රටෙහි පැවතී අහිතකර දේශපාලන ප්‍රවාහයන් නිවැරදි මගට යොමු කිරීම සඳහා උන්වහන්සේ තුළ වු අධිෂ්ඨානය මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වූ පොදුජන ක්‍රියාවලියට තීරණාත්මක මගපෙන්වීමක් හා උත්තේජනයක් විය. එම බලපෑම මගේ නායකත්වයෙන් යහපාලන රජයක් බිහි කරමින් රට නිවැරදි දිශාන්තියකට ගෙන යාම ස`දහා අප වෙත ලබාදුන් ඉමහත් ධෛර්යයක් සැපයීය.

පසුගිය දශක කිහිපයක සිට මගේ දේශපාලන ජීවිතයට උන්වහන්සේගෙන් ලැබුණු අවවාද අනුශාසනා රටේ යහපත වෙනුවෙන් පෙනී සිටීම සඳහා මා වෙත ශක්තියක් ලබාදුන් අතර උන්වහන්සේ පැතූ සමාජ සාධාරණත්වය ඉදිරියටද පවත්වාගෙන යාමට එය පහන් ටැඹක් සේ අප වෙත මගපෙන්වනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමි.

සමාජයේ දේශපාලන ආගමික හා සංස්කෘතික පරිවර්තනයන් උදෙසා අතිපූජ්‍ය සෝභිත නායක මාහිමියන් වහන්සේගේ කැපවීම මෙයට දශක හතරක් පමණ වූ අතීතයකට දිව යන දීර්ඝ ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ අමද්‍යප ව්‍යාපාරයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින්ද පසුගිය යුගයේ වර්ධනය වෙමින් පැවති සංස්කෘතික හා ආර්ථීක සෝදා පාළුවට එරෙහිව මහාචාර්ය සරත්චන්ද්‍රයන් සමග සමාජ සංවාදයක් ඇති කළේද උන්වහන්සේ විසිනි.

එමෙන්ම මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳව කතිකාවතකට පුරෝගාමී වූ සංඝපීතෘවරයාණන් වහන්සේ නමක් ලෙසින්ද ආගමික හා ජාතික සිංහිඳීයාව උදෙසා පෙනී සිටි ප්‍රමුඛ නායකයෙකු වශයෙන්ද දැවැන්ත මුද්‍රාවක් ශ්‍රි ලාංකීය සමාජය තුළ සනිටුහන් කළ උන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා මෑත කාලීනව රට තුළ සිදු කළ අරගලය අසම සම වන බව මාගේ විශ්වාසයයි.

මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ පැතූ සමාජ සාධාරණත්වයෙන් යුත් සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම අපගේ පරම වගකීමක් බව විශ්වාස කරන මා මුළුමහත් ලක්වැසි ජනතාව සමග උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අප වෙත ලබාදුන් අවවාද අනුශාසනා පිළිබඳව යළි යළිත් මෙනෙහි කරමින් ඒ සඳහා වන කැපවීම සපථ කරමිනි.

මෛත්‍රිපාල සිරිසේන