17072024Wed
Last update:Wed, 08 May 2024

අස්ගිරි මහ නාහිමිගේ ශෝක පණිවිඩය

galagamaඅපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් රාජ රාජ මහාමාත්‍යාදීන් හමුවේ වැරදි නිවැරදි කැර ගැනීම සඳහා නොබියව අදහස් ප්‍රකාශ කැරමින් රට, ජාතිය හා ආගම සුරැකීම උදෙසා අනුපමේය මෙහෙයක් කළ යතිවරයාණන් වහන්සේ නමක් බව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහනාහිමියෝ පවසති.

රට කරවන පිරිස් පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ සෝභිත හිමියෝ රට පරිහානියට පත්වන අවස්ථාවලත් විපරීත වන අවස්ථාවලත් පෙරමුණ ගෙන සත්‍යය පෙන්වා දෙමින් නොබියව සාධාරණ සමාජයක් ඇති කිරීම පිණිස කටයුතු කළ බව කවුරුත් දන්නා කරුණක් බවද උන්වහන්සේ කීහ.

ත්‍රෛනිකායික ගරුතර මහා සංඝරත්නයේත් ශිෂ්‍ය හිමිවරන්ගේත් දායක කාරකාදීන්ගේත් සෙසු සියලු ජනතාවගේත් සිත් දිනාගෙන කටයුතු කළ උන්වහන්සේගේ අපවත්වීම රටට පිරිමැසිය නොහැකි පාඩුවක් බවද අස්ගිරි මහ නාහිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ තුළ පැවති සත්‍යවාදී අදහස් වලට කථිකත්වය තුළින් හිමිවූයේ නොමද ආලෝකයක් බවත් එම වාග් බලය උන්වහන්සේ සෑම විටම උපයෝගී කැර ගත්තේ යුක්තිය හා සාධාරණත්වය රජකැරවීමට බවත් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අවධාරණය කළහ.