17072024Wed
Last update:Wed, 08 May 2024

ලංකාව යළි ආනයන-අපනයන මධ්‍යස්ථානයක්

ranilආර්ථිකය පත්ව ඇති ආගාධයෙන් ගොඩගැනීම සහ රට ඉදිරියට ගෙන යාමට සමත් වන තුන්වැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම රජයේ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ සිදුකෙරුණු ආර්ථික ප්‍රතිසංස්කරණවල පැවැති නොසැලකිලිමත්භාවයේ හා විකෘතීන්හි ප්‍රතිඵලයක් ලෙස අපගේ ආර්ථිකය අගාධයට පත්ව ඇති බවත් නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ශ්‍රී ලංකාව අතීතයේ මෙන් ආනයන හා අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා ඉලක්ක ගත වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

රජයේ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැතිවරයා ඒ බව අවධාරණය කළේය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ශ්‍රී ලංකාව තුළ පළමු පරම්පරාවේ සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් බවත් දෙවැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා යටතේ හඳුන්වා දුන් බවත් අගමැතිවරයා පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ වත්මන් රජය තුන්වැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන අතර මේ යටතේ ජනතාවගේ ආදායම් වැඩි කිරීම, රැකියා අවස්ථා දස ලක්ෂයක් බිහි කිරීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම, ග්‍රාමීය සහ වතුකරයේ ජනතාවටත්, මධ්‍යම පාංතිකයන්ට සහ රජයේ සේවකයන්ට දේපොළ අයිතිය ලබාදීම, ශක්තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක් බිහිකිරීම ආදි වශයෙන් වූ මධ්‍යකාලීන ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කරන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

මේ ඉලක්ක සපුරාලීමේදි ලෝක ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කළ යුතු සේම ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දැනුම මුල් කර ගත් තරඟකාරි සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැඟිය යුතු බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීම පස්වරු 1.55 ට ආරම්භ කළ අතර පස්වරු 2.55 තෙක් පැයක කාලයක් එය ඉදිරිපත් කළේය.