17072024Wed
Last update:Wed, 08 May 2024

පොඩි මිනිහට බර කිසිම බද්දක් අයවැයේ නෑ

ravi 0පොදු ජනතාව මත බර පැටැවෙන කිසිදු බද්දක් මෙවර අයවැයෙන් පනවන්නේ නැතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා කියයි. එය විප්ලවීය මෙන්ම සුබදායී යෝජනාවන්ගෙන් පරිපූර්ණ වන බවට ප්‍රතිඥාවක් දෙයි.

වසර 2016 අයවැයෙන් පොදු ජනතාවගේ ජීවන වියදම් සැහැල්ලු කරන, ඔවුන්ගේ අතමිට සරුවන යෝජනා ගණනාවක් හඳුන්වා දෙන බව ද මුදල් ඇමැතිවරයා සඳහන් කෙළේය.

මේ අයවැයෙන් ලබාදෙන ප්‍රතිලාභ ර‍ටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදාගනු ඇතැයි මුදල් ඇමැතිවරයා විශ්වාසය පළ කරයි. ආණ්ඩුව දෙසම බලා නොසිට ‍රටේ අභිවෘද්ධිය සඳහා ජනතාව සිය කාර්යභාරය ඉටුකළ යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය විශාල බව පවසන ඇමැතිවරයා දැනටමත් පෞද්ගලික අංශය තුළ රැකියා අවස්ථා ඉමහත් බවත්, ඒ සඳහා පුහුණු සේවකයන්ට ඉඩ ප්‍රස්ථා විශාල බව ඔවුන් අවධාරණය කරන බව ද දන්වා සිටී.

ශ්‍රී ලංකාවේ ඉපැයුම් බිලියන 1452 වන විට ණය ප්‍රමාණය බිලියන 1500 ඉක්මවා යෑම ප්‍රධානම ගැටලුව වී ඇති බව හෙතෙම පවසයි. එහෙත් ඇමැතිවරයා අවධාරණය කරන්නේ මේ අසමතුලිතතාව අවම කිරීමට තමන් නව ක්‍රමවේදයන් ජනතාව මත බර නොපැ‍ටවෙන ලෙස හඳුන්වා දී ඇති බවයි. ඉහළ ආර්ථික මට්ටම් වෙත බදු බර පැටවීම මඟින් රජයට විසැඳුම් සොයාගත හැකි බව ද ඇමැතිවරයා පවසයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක සහනයක් කොන්දේසි රහිතව ලබාදීමට සූදානම් වුවද මෙවර අයවැය ලෝක බැංකුවේ හෝ ජගත් මූල්‍ය අරමුදලේ අයවැයක් ලෙස අර්ථකථනය කළ නොහැකි බව ද කියයි. නුදුරු අනාගතයේදීම රුපියල ශක්තිමත් වන බවට ද විශ්වාසය පළ කරයි. තවදුරටත් අදහස් දක්වන මුදල් ඇමැතිවරයා මෙසේ ද කියයි. සාමාන්‍ය ජන ජීවිතය වඩාත් පහසුවෙන් හා සැහැල්ලුවෙන් ඉදිරියට ගෙන යෑමට ඉවහල් වන ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු වන යෝජනා අයවැයෙන් ගෙන එනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ මහතාත්, පොදු ජනතාවගේ දුක, කඳුළ සැබෑවටම හඳුනා ගත් නායකයෝ දෙන්නෙක්. ඒ නිසා තමයි අපි සෑම අවස්ථාවේම පොදු ජනතාවගේ ආර්ථිකය, රටේ ආර්ථිකය දියුණු කරන්න යෝජනා ගෙන එන්නේ. මේ රටේ බදු ආදායම් ගෙවන්න ඕනෑවටත් වඩා හැකියාව, පුළුවන්කම තිබෙන අය ඒවා ගෙවන්නේ නැතිව මඟහරිනවා. බදු ගෙවන්න පුළුවන්කම තිබෙන පිරිසෙන් ඒවා අකුරටම අයකර ගැනීමටයි කටයුතු කරන්නේ. අපේ රටේ ජාතික ආදායමෙන් සියයට 93 යන්නේ රටේ ණය වාරික හා පොලී මුදල් ගෙවීමටයි. අනෙක් පැත්තෙන් ජාතික ආදායමෙන් සියයට 65 ක් රාජ්‍ය සේවකයන්ගේ, විශ්‍රාමිකයන්ගේ වැටුප්, දීමනා හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වන්නේ. මේ තත්ත්වය තුළ රටේ තිරසාර සංවර්ධනයක් සිදුකරන්න මුදල් ආයෝජනයට ඉඩක් නැහැ. නමුත්! ඒ තත්ත්වය මුළුමනින්ම වෙනස් කරන්න ඕනෑ. ඒ නිසා තමයි මෙවර අයවැය විප්ලවීය එකක් වෙන්නේ.

අපි නව ආයෝජනවලට එන්න ඇති තරම් ඉඩකඩ, පහසුකම් සපයනවා. ඒවාගේම දේශීය කර්මාන්ත, ව්‍යාපාරික ප්‍රජාවට පුළුවන් තරම් නැඟී ඉන්න දිරිගැන්වීම් ලබා දෙනවා.

රටේ සෑම අංශයකම සිදුකරන සංවර්ධන වැඩවල කොන්ත්‍රාත් දේශීය කර්මාන්තකරුවන්ට ලබාදීමට ප්‍රමුඛතාවය දෙනවා. ඔවුන් ඉදිරිපත් නොවුණහොත් පමණයි විදේශීකයින්ට දෙන්න බලන්නේ.

මේ ලැබුණු අවස්ථාවෙන් අපේ රටේ දේශීය ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගන්න ඉදිරිපත් වෙයි කියා අපි සිතනවා.නව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වාගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නංවන වැඩපිළිවෙළ ගණනාවක් අයවැයෙන් ක්‍රියාත්මක කරනවා. මේවායේ මූලිකම අරමුණ පොදු ජනතාවගේ ආදායම් වැඩි කිරීමයි, දුප්පත්කම නැති කිරීමයි.