17072024Wed
Last update:Wed, 08 May 2024

සංවර්ධනය උදා කිරීමේ මඟ

ranilහුදු ප්‍රදර්ශනශීලී සංවර්ධන තේමාවන්ගෙන් බැහැරව රටේ ජනතාවගේ සැබෑ ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් උදා කිරීමේ තිරසාර මඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (5) ජාතිය හමුවේ තබයි.

අගමැතිවරයා විසින් සිදුකරන විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් නිරෝෂන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

වත්මන් රජය නිරන්තරයෙන්ම තිරසාර සංවර්ධනය පිළිබඳ උපරිම විශ්වාසයකින් කටයුතු කරනු ලබයි. රටක් සෑම අංශයක් ඔස්සේම සංවර්ධනය කළ හැක්කේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමෙන් පමණි. අපරට ප්‍රෞඪ හා ශ්‍රේෂ්ඨ මානව ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි. එම ඉතිහාසයෙන් උරුම වූ අනන්‍යතාවන් හා වටිනාකම් බොහෝමයක් පවතී.

වත්මන් රජය එම අනන්‍යතාවන් හා වටිනාකම් නොනසා ආරක්ෂා කරමින් කටයුතු කරන බවට ලබා දුන් ජනතා පොරොන්දු ඉටුකිරීමේ කාර්යභාරයට මේ වන විට අත ගසා අවසන්ය. ලබන නොවැම්බර් 05වනදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ මධ්‍යකාලීන ආර්ථික දැක්ම පිළිබඳ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. එමගින් සමස්ත ශ්‍රී ලාංකික ජාතිය තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ගෙන යාමේ තාක්ෂණික ගමන් මාර්ගය අගමැතිවරයා විසින් පැහැදිළි කරනු ඇත.

අද ශ්‍රී ලාංකීය ජනතාවට අවශ්‍යව ඇත්තේ හුදෙක් ම දෘෂ්‍ය සංවර්ධනයක් නොවේ. ඉන් ඔබ්බට ගිය ගෝලීය සංවර්ධන මූලධර්ම හා ගැලපෙන සංවර්ධන ව්‍යුහයක් යුගයේ අවශ්‍යතාව යයි.

යුග පෙරළියක අවශ්‍යතාව ඉටුකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එම දේශීය අවශ්‍යතාව මැනැවින් හඳුනාගෙන ඇත. ඒ අනුව රටේ සියලු ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම මේ වන විට සිදුවෙමින් තිබේ.

හුදු ප්‍රදර්ශනශීලී සංවර්ධන තේමාවන්ගෙන් බැහැරට යමින් සැබෑ ලෙස මෙරට ආර්ථික , සාමාජීය,දේශපාලන, හා සංස්කෘතික, අවශ්‍යතාවයන් මොනවාදැයි වත්මන් රජය හඳුනාගෙන තිබේ.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එක්කර ගනිමින් සංවර්ධන ඉලක්ක සපුරා, ආර්ථික විෂමතා බැහැර කිරීම අප රජයට පැවරෙන ප්‍රධාන වගකීම ලෙස හඳුනාගෙන තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ නව මානයන් ඔස්සේ විමසාබැලීමටත්, නිරන්තරයෙන් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් රජය කැපවෙයි.

කෘෂි, ධීවර කර්මාන්තවල ප්‍රගතිය සැලසීමටත් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය නව මානයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමටත් විදෙස්ගත ශ්‍රමිකයන් සිය ශ්‍රමයෙන් උපයන ධනයට සැබෑ වටිනාකමක් ලබා දීමටත් යහපාලන නව රජය සතුව තාක්ෂණික සැලසුම් පවතී.

ඒ ඔස්සේ ශ්‍රී ලාංකීය ජන සමාජය සංවර්ධනයේ නව පුනරුදයක් වෙත කැඳවාගෙන යාමට ජනපති හා අගමැති පෙරටුකර ගනිමින් අපි කැපවී සිටින්නෙමු.