20042025Sun
Last update:Tue, 07 Jan 2025

අගමැති නියමයෙන් විශේෂ කමිටුවක්

Wickremeshinge15උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලාවේ සිසුන් පසුගිය බ්‍රහස්පතින්දා (29 දා) සිදු කළ උද්ඝෝෂණයේ දී පොලිසිය විසින් සිසුන්ට පහර දීම ඇතුළු කරුණු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) විශේෂ කමිටුවක් පත් කළේය.

ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කැරිණි.

ගණකාධිකරණ පාඨමාලාවේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාතික පොලිස් කොමිසම විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවට පරිබාහිරව බටගොඩ කමිටුව ස්වාධීනව පරීක්ෂණ කටයුතු සිදු කරයි. සිද්ධියට පසුබිම් වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් බටගොඩ කමිටුව විසින් සිදුකෙරෙන අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ඇතුළත් නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

කළමනාකරණ සිසුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (01) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම කමිටුව පත් කිරීමට තීරණය කෙරිණි. මේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟද සාකච්ඡා කළ අතර මාරපන මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද (02) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.