17072024Wed
Last update:Wed, 08 May 2024

සිය සේවය උපන් රට වෙනුවෙන් ලබා දීමට නැවත මාතෘ භූමියට පැමිණෙන්නැයි ජනපති තායිලන්තයේ වෙසෙන ශී‍්‍ර ලාංකික බුද්ධිමතුන්ට ඇරයුම් කරයි

03 1140x645රට තුළ නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් තහවුරු වී ඇති බැවින් නැවත මාතෘ භූමියට පැමිණ සිය සේවය උපන් රට වෙනුවෙන් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා තායිලන්තයේ වෙසෙන ශී‍්‍ර ලාංකික බුද්ධිමතුන්ට ඇරයුම් කරයි.

ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කර වසර හැටක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට සහභාගීවීම සඳහා තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයාගෙන් ලද විශේෂ ආරාධනය පරිදි තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපතිතුමා අද (01) පස්වරුවේ තායිලන්තයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග පැවති හමුවකදී මෙම ආරාධනාව සිදු කළේය.

තායිලන්තයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට එරට වෙසෙන ව්‍යාපාරිකයින්, වාණිජ්‍ය මණ්ඩල සාමාජිකයින් සහ විශ්ව විද්‍යාල සිසුන්ද එක්ව සිටියහ.

ඔවුන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාවට ලැබිය යුතු සියලූ අයිතින් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම වැනි පසුබිම් සමග අද ශී‍්‍ර ලංකාව තුළ සියලූ ක්ෂේත‍්‍රයන්හි නිදහසේ කටයුතු කිරීමට ඇති අවස්ථාව පුළුල් වී ඇති බවයි.

එමෙන්ම රට තුළ ස්ථාපිත වී ඇති නිදහස සහ වරප‍්‍රසාද තුළ සියලූදෙනාට බිය සැක නොමැතිව කටයුතු කිරීමේ අවස්ථාව උදා වී ඇති බවද ජනාධිපතිතුමා පැවසීය.

අද තායිලන්තය උදාකරගෙන තිබෙන වේගවත් සංවර්ධනය සෙසු රටවලද ඉතා ආදර්ශවත් බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
නැවත ශී‍්‍ර ලංකාවට පැමිණිමේදී රට තුළ ස්ථාපිත කළයුතු පහසුකම් පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ප‍්‍රශ්න කළ අතර එහිදී විශ්ව විද්‍යාල සිසුන් ප‍්‍රකාශ කළේ නව නිපැයුම් සඳහා අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය කර දෙන ලෙසයි.

එමෙන්ම තායිලන්තය තුළ තමන් ලද තාක්ෂණික දැනුම ප‍්‍රයෝජනවත් ලෙස භාවිත කිරීම සඳහා ග‍්‍රාමීය මට්ටමින් තාක්ෂණික පහසුකම් පුළුල් කර දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියහ.

ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර ගුවන් සේවා සබඳතා පුළුල් කර ගැනීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී ව්‍යාපාරික ප‍්‍රජාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

01

11

09

08

04