16072024Tue
Last update:Wed, 08 May 2024

මැදිකාලීන සංවර්ධන දැක්ම ජාතිය හමුවට

ranil 10නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, ජාතික නිවාස හා ප්‍රවාහන සේවාව ඇතුළු ක්ෂේත්‍ර හයක නවෝදය උදාකරන රජයේ මැදිකාලීන සංවර්ධන දැක්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන මස 05 වැනිදා ජාතියට ප්‍රකාශ කිරීමට සූදානම් වේ.

රටටත්, ජනතාවටත් වඩාත් සරු ආර්ථිකයක් උදාකරන රජයේ කෙටිකාලීන, මැදිකාලීන හා දීර්ඝකාලීන සංවර්ධන වැඩපිළිවෙළේ දැක්ම මේ අන්දමට ජාතිය හමුවේ තබා වසර 2016 අයවැයෙන් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු මුදල් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කොට තිබේ.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද මඟපෙන්වීම් සහ උපදෙස් මත ජනතාවගේ දැඩි ජීවනබර සැහැල්ලු කිරීම සඳහා දින සියයේ වැඩපිළිවෙළ යටතේ කෙටිකාලීනව රජය සහන සැලැසූ අයුරු පැහැදිලි කිරීමටද අගමැතිවරයා මෙහිදී බලාපොරොත්තු වේ.

දුප්පත්කම ආදායම් බෙදීයෑමේ විෂමතාවය දුරුකොට ශක්තිමත් ආර්ථික හා ජීවන තත්ත්වයක් උරුම ජනතාවක් බිහිකිරීම මැදිකාලීන දැක්මේ අරමුණ වී තිබේ.

“මාස 60න් අලුත් රටක්” මැයෙන් නිමාවට පත්වු පාර්ලිමේන්තු මහා මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ වැඩපිළිවෙළ රජයේ දීර්ඝකාලීන සංවර්ධන වැඩසටහනේදී සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේ.

දින සියයේ වැඩසටහන යටතේ මූලික අවධානය යොමු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ඇතිකිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා නිදහස ස්ථාපිත කිරීම, සහභාගිත්ව, ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැංවීම, වංචා හා දූෂණ මර්දනය කිරීම සහ ශ්‍රී ලංකාවේ විවිධ ජාතික හා ආගමික අවශ්‍යතා හඳුනා ගැනීම තුළින් ජාතික සමගිය ගොඩනැංවීම උදෙසා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමය. ඊට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල අඩු කිරීම හරහා පොදු ජනතාවට සහන සලසමින් දින සියයේ වැඩසටහනින් ජනතාවට දිගුකලකට පසු ආර්ථික සහන ලබා දුනි.

අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක් මත පනවා තිබූ බදු මුදල් ඉවත්කොට ඉන්දන සහ ගෘහස්ථ ගෑස් මිල අඩු කොට, රාජ්‍ය සේවකයන්ගේ, විශ්‍රාමිකයන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ අයුරු අගමැතිවරයා පැහැදිලි කරනු ඇත.

මීට අමතරව රටේ යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනය, මාර්ග සන්නිවේදන, ග්‍රාමීය දුප්පත්කම දුරුකිරීම සිදුකරන මැදිකාලීන සංවර්ධන දැක්ම ප්‍රකාශ කරනු ඇත. දීර්ඝ කාලීන සංවර්ධන වැඩපිළිවෙළ යටතේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මේ සංවර්ධන දැක්ම සාර්ථක කර ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයින්, සැලසුම්කරුවන්, මූල්‍ය ආධාර සපයන්නන්, රාජ්‍ය නිලධාරින්, මහජනතාව එකසේ කැපවී ක්‍රියා කළ යුතු බව අගමැතිවරයා මෙහිදී අවධාරණය කරනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග පෙන්වා දෙයි.