17072024Wed
Last update:Wed, 08 May 2024

ජාත්‍යන්තර චෝදනාවලට මුහුණදීමේදී ත්‍රිවිධ හමුදාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනපති පවසයි.

146 1140x870 Presidentයුද්ධයේ අවසන් දින කිහිපය තුළ සිදු වූවා යැයි පවසන මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනාවලට මුහුණදීමේදී අපගේ ත්‍රිවිධ හමුදාවන් ඇතුළු ආරක්ෂක අංශවල ගෞරවය සහ අභිමානය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

 අපගේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ දුර්වල කිරීමට කිසිදු අයුරකින් ඉඩ නොතබන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ පැවති ශී්‍ර ලංකා පාබල හමුදාවේ වර්ණ ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් අනතුරුව වසර 25 කට පසු ශ්‍රී ලංකා පාබල හමුදාවේ වර්ණ ප්‍රදානෝත්සවයකට රාජ්‍ය නායකයෙකු සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

පාබල හමුදා මුලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා විශේෂ හමුදා උත්තමාචාර සහිතව මහත් අභිමානවත් අයුරින් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙත ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කිරීමත්, පළමුවන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ දෙවන ශ්‍රී ලංකා ස්වේච්ඡා පාබල හමුදා ඒකකයන් වෙත ජනාධිපති වර්ණ සහ ඒකක වර්ණ ප්‍රදානය කිරීමත් මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඊට අදාළව සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමාගේ විශේෂ පණිවිඩය ඉදිරිපත් කිරීමද සිදු කෙරිණි.

1900 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමජිකයින් 3868 දෙනෙකු මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිත පූජා කර ඇති අතර ඔවුන් සිහිපත් කරමින් කඳවුරු භූමියේ ඉදිකෙරුණු අඩි 80 ක් උස රණවිරු ස්මාරකය විවෘත කිරීමට ද ජනාධිපතිතුමා එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව රජය යටතේ රට තුළ ස්ථාපිත කෙරුණු නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තුළ විවිධ දේශපාලන මතධාරින් කුමන අදහස් ඉදිරිපත් කළ ද වීරෝධාර රණවිරුවන්ගේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවී සිටින බවයි.

ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති හොඳ විනයකින් සහ හික්මීමකින් යුතු හමුදාවක් ලෙස අපගේ ආරක්ෂක හමුදාවන්ට අද එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාව තුළ ද ඉඩ ප්‍රස්ථා පුළුල් වී ඇති බව පැවසු ජනාධිපතිතුමා පසුගියදා තමන් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සමුළුව සඳහා සහභාගීවූ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සමග මෙන්ම රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ඒ පිළිබඳ සාකච්ඡා කළ බව ද කියා සිටියේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජනරාල් කි්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගඟන බුලත්සිංහල, හිටපු යුධ හමුදාපතිවරුන් වන ජෙනරාල් දයා රත්නායක, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන ආඥාපති මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුළු යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.