16072024Tue
Last update:Wed, 08 May 2024

දරුවන් ආරක්ෂාවට- කාර්ය සාධන බළකායක්

President7aදැයේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක් ලබන සතියේ ස්ථාපිත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ පුළුල් සමාජ සංවාදයක් ගොඩනැඟී ඇති බවත් ඊට ආණ්ඩුවේ ඍජු මැදිහත්වීම ලබා දෙන බවත් කී ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ කාර්ය සාධන බළකාය අරඹන බව පැවැසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ දී  ඊයේ (25) පැවැති තෙමහළ් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

අත්තනගල්ල රජ මහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් ඉදිකෙරුණු මෙම ගොඩනැගිල්ල සඳහා ලක්ෂ එකසිය අනූවක මුදලක් වැය කැර තිබුණි.

ඉතා අවම පහසුකම් යටතේ සිප් සතර හැදෑරූ දරු දැරියන් සඳහා මෙම නව ගොඩනැගිල්ල මහත් පිටිවහළක් වනු ඇත. උතුරේ විද්‍යා දැරියත් දකුණේ සේයා දැරියත් අශිලාචාර, අධම මිනිසුන් විසින් අමානුෂීය ලෙස විනාශ කළාටත් වඩා ඇතැම් මාධ්‍ය එම දැරියන් විනාශ කළ බව ජනපතිවරයා පැවැසීය.

එම මාධ්‍ය සංදර්ශනය සමස්ත දරුවන්ට සිදු කළ අගෞරවයක්, අපකීර්තියක් බව කී ජනාධිපතිවරයා දරුවන්ගේ ප්‍රශ්නවල දී ඇතැම් මාධ්‍ය හැසිරෙන ආකාරය කනගාටු දායක බව පැවැසීය. එම මරණ නරඹීමටගිය ඇතැම් පුද්ගලයන් එම සිද්ධීන් ජංගම දුරකථනවලට රූපගත ගත කරමින් මිතුරන්ට සහ අන්තර්ජාලයට එක් කළ බව කී ජනාධිපතිවරයා ඒ මගින් දරුවන්ට පමණක් නොව මුළුමහත් දේශයටම අපකීර්තියක් අගෞරවයක් ලබා දුන් බව කීවේය.

රටේ දරුවන් හැදීම සහ රැකීම පිළිබඳ පුළුල් ජාතික සංවාදයක් අවශ්‍ය බවත් වර්තමානයේ දී දරුවන් රැක බලා ගන්නැයි කියා දෙමාපියන්ට කියන්න සිදුව ඇති බවත් කී ජනාධිපතිවරයා දරුවන් සහ මවුපියන් එක්වූ පුළුල් ජාතික වැඩපිළිවෙළක් පාසල්වලින් අරඹන බවත් කීවේය.

කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ ප්‍රධාන මහා සංඝරත්නය, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, වරාය සහ නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය, බස්නාහිර පළාත් ප්‍රවාහණ මහාමාර්ග, සමූපකාර ඇමැති ලලිත් වනිගරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එම් ප්‍රේමසිරි, මහත්වරු, පළාත්සභා ප්‍රාදේශීය සභා ඇතුළු දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන් පාසල් දරුවන්, දෙමාවුපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.