16072024Tue
Last update:Wed, 08 May 2024

ජිනීවා යෝජනා පිළිබද සර්ව පාක්ෂික සමුළුවේ පළමු සැසිය අවසන් වේ.

Presidential Media Unit Common Banner 1තම ස්ථාවරයන්ගේ පරස්පරතාවයකින් තොරව සර්ව පාක්ෂික සමුළු ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ඒකමතිකව අවධාරණය කරමින් ජිනීවා යෝජනා පිළිබද සර්ව පාක්ෂික සමුළුවේ පළමු සැසිය අවසන් වේ.

 ජිනීවා යෝජනා පිළිබද සර්ව පාක්ෂික සාකච්ජාව අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුළුව පක්ෂ 23 ක් සහ තවත් විශේෂ නියෝජිතයින් පිරිසක් ඊට එක්ව සිටියහ.

සර්ව පාක්ෂික සමුළුව අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහීදී සියලූ පක්ෂ වල ඉල්ලීම වූ අතර ඒ අනුව තවත් සති තුනකින් ඊළග සැසිය පැවැත්වීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරන ලදී.

මෙම සර්ව පාක්ෂික සමුළුව කැදවීම පිළිබදව සාකච්ඡාවට සහභාගී වූ සියලූ දේශපාලන පක්ෂ වල නියෝජිතයින් ජනාධිපතිතුමාට සිය ස්තුතිය පළ කළ අතර සමුලූවේ අඛණ්ඩව ඉදිරියේදී පැවැත්වීමටද ජනාධිපතිතුමා වෙත ඉල්ලීම් සිදු කරන ලදී.

ඊට අමතරව ඉදිරි සති 2 තුළ මේ පිළිබඳ පක්ෂවල යෝජනා ජනාධිපතිතුමා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමටද එකගතාවය පළ විය.

පක්ෂ නියෝජිතයින් විසින් එළිදැක්වූ මතයන් සැකවින් පහත දැක්වේ.

විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ජිනීවා යෝජනා සම්පූර්ණ ලෙසත්, අවංක ලෙසත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනු ලැබීය.

අතීත ආණ්ඩු විසින් එවකට සමාජගතවූ මධ්‍යස්ථ දෙමළ මතය පිළිගෙන කටයුතු කළේනම් ඊළාම් සටන් පාඨයට පණක් නොලැඛෙන්නට ඉඩ තිබුණු බව ඔහුගේ අදහස විය.

එසේම අද වන විට එල්.ටී.ටී.ඊ ය හෝ ඊළාම් සටන් පාඨය නොමැති තත්ත්වයක් තුළ නැවත වරක් දෙමළ ජනතාව එක්සත් සහ නොඛෙදුනු ශ්‍රී ලංකාවක් තුළ අනාගතය දකින්නට කටයුතු කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා අදහස් දක්වමින් ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක් තුළ කටයුතු කරනවා වෙනුවට දේශීය න්‍යාය පත්‍රයක් තුළ කටයුතු කරමින් මෙම අභියෝගය සඳහා විසඳුම් සොයාගත හැකි බව ප්‍රකාශ කරන ලදී.

එසේම එකී විසඳුම් පවතින ව්‍යවස්ථා රාමුව තුළ ගොඩනැගිය යුතු බව ඔහුගේ අදහස විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ගරු නිමල් සිිරිපාල ද සිල්වා මහතා පැහැදිළි කළ අතර එහිදී ජාත්‍යන්තරය නොමැතිව ගෝලීයකරණය වූ ලෝකයක යම් රටකට ඉදිරියට යා නොහැකි බවත් ජිනීවා යෝජනා පිළිබඳ ක්‍රියාදාමයේදී හානියට පත් සියලූදෙනාට සාධාරණයක් ඇති කිරීම සදහා සංහිදියාව අරමුණු කොටගෙන කටයුතු කළයුතු බවත් පවසන ලදී.

දැනට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹී ඇති ජිනීවා යෝජනා පිළිබද ක්‍රියාදාමය නිවරැදි බව ජාත්‍යන්තරය පිළිගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

එසේ නමුත් අප ජාත්‍යන්තරය කියන්නා වූ සෑම දෙයම එළෙසින්ම පිළිනොගත යුතු බවත් අපගේ විසඳුම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකළ යුතු බවත් පවසන ලදී.

අප ජාත්‍යන්තරය පිළිබදව හුඹස් බියක් ඇති නොකරගත යුතු බවත් වගවීමේ යාවලිය අපගේ අවශ්‍යතා අනුව සිදුකළයුතු බවත් ඔහු අවධාරණය කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණේ මතය එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ අතර එහිදී අභ්‍යන්තර ප්‍රශ්ණ ජාත්‍යන්තරකරණය වීමට ඉඩ දීම අනවශ්‍ය බවත් අපගේ නොසැළකිලිමත් භාවය නිසා මේ වන විටත් රටේ අභ්‍යන්තර ප්‍රශ්ණය ජාත්‍යන්තරකරණය වී ඇති බව පෙන්වා දුන්නේය.

මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම රාජ්‍යයේ වගකීමක් නිසා ජනතා විමුක්ති පෙරමුණ වින්දිතයන්ට යුක්තිය සපයන, පාරදෘශ්‍ය පූර්ණ දේශීය පරීක්ෂණයකට සහයෝගය දක්වන බවත් කියා සිටියේය.

එසේම සත්‍ය සෙවීමේ කොමිසමක් අවශ්‍ය බවත් දඬුවම් ලබාදීමට නොව ජාතික සමගිය නැංවීමට සහ අනාගතයේදී මෙවැනි ඛේදවාචක නැවත ඇති නොවීම පදනම් කරගත් ප්‍රවිශ්ටයක් ඒ සඳහා අවැසියැයි අවධාරණය කරන ලද අතර ඊට අමතරව වෙනස්කම් පිටුදැකීම ස`දහා කොමිසමක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

ජාතික හෙළ උරුමයේ මතය ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ එළිදක්වමින් ඉන්දියානු ජාතික නායක මහත්මා ගාන්ධිගේ මතයක් උපුටා දක්වමින් නිවසක් තුළට සුළං හැමීම සඳහා සියලූ ජනෙල් විවෘත කිරීමට පියවරගත යුතු නමුත් නිවස තුළ පවතින ඇඳම් පැළඳම් එකී සුළගින් ගසාගෙන යාමට අප ඉඩ නොහැරිය යුතු බව සඳහන් කළේය.

ජිනීවා යෝජනා පිළිබඳ අපගේ ප්‍රවිශ්ටය ඉහත කී මහත්මා ගාන්ධිගේ උපුටා දැක්වීමට සමාන බවත්, එකී යෝජනා කි්‍රයාත්මක කළයුත්තේ අප රටේ ජනතාවගේ එක්සත් භාවය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත් පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් කියා සිටියේය.

එවැනි ප්‍රවිශ්ටයක් තුළ රණවිරුවාගේ කි්‍රයාකාරිත්වය නීති විරෝධි නොමැති බැවින් එකී ක්‍රියාවන් නීතිගරුක බව උන්වහන්සේ තවදුරටත් අවධාරණය කරන ලදී.

ඊ.පී.ඩී.පී මතය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ප්‍රකාශ කරමින් දරුවෙකු ඉපදීමට වින්නඹු මාතාවක් සහාය දක්වන අතර දරුවා ඉපදීමෙන් පසුව එකී වින්නඹු මාතාව විසි කර දැමීමට කටයුතු නොකළයුතු බව සිහිපත් කළේය.

ඩිවූ ගුණසේකර මහතා කොමියුනිට්ස් පක්ෂය වෙනුවෙන් අදහස් දක්වමින් ජිනීවා යෝජනා සඳහා විසඳුම් සෙවීමේදී පදනම් තුනක් මත කටයුතු කළ බව අවධාරණය කළේය. ඒවානම් රටේ ස්වාධිපත්‍ය, ලෝක බල තුලනය මත පදනම් වන විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික සමගිය සහ සංහිඳීයාවයි.

ජිනීවා යෝජනා පිළිබඳව කථා කිරීමේදී අප අතීතයද සළකා බැලිය යුතු බවත් උගත් පාඩම් පිළිබඳ කොමිසම හමුවේත් යුද්ධය පවතින සමයේදීත් මෙකී ප්‍රවිශ්ටයම කොමියුනිටිස් පක්ෂය ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරන ලද්දේ මෙකී සර්ව පාක්ෂික සමුළුව

සඳහා නිසි ව්‍යුහයක් ගොඩනගන ලෙසටත් නිරතුරුවම සර්ව පාක්ෂික සමුළුව සහ එහි නියෝජිතයින් හමුවී විසඳුම් ගොඩනැගීමට ක්‍රියාකළයුතු බවයි.

එහිදී ප්‍රධාන ප්‍රවිශ්ටයන් ලෙස ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක්, නැවත පදිංචිය සඳහා වන බාධා ඉවත් කිරීම සහ එකඟවන්නාවූ කාල වකවානුවක් සඳහා සත්‍ය ගවේෂණය යන කරුණු සැළකිල්ලට ගතයුතු බවත් සදහන් කරන ලදී.

ටෙලෝ පක්ෂය වෙනුවෙන් සෙල්වම් අඩෙයිකලනාදන් මහතා අදහස් දක්වමින් යුක්තියේ නිර්ණායක වන්නේ දෙමළ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට ඇති හැකියාව බව ප්‍රකාශ කළේය.

එසේම මෙවැනි ක්‍රියාවලියක් තුළ සත්‍ය සොයන කොමිසමක් ඉදිරියේ සාක්ෂි ලබාදෙන පුද්ගලයන්ට ආරක්ෂාව සහ විශ්වාසය ලබාදීම සඳහා වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රබල නීති හඳුන්වාදිය යුතු බව සඳහන් කළේය.

මනෝ ගනේෂන් මහතා අදහස් දක්වමින් ආයුධ අතහැර ප්‍රශ්ණ විසඳා ගැනීමට සමාජයක් පෙළඹවීම දියුණු තත්ත්වයක් බවත්, අපට නැවත ත්‍රස්තවාදය වෙත ගමන් කළ නොහැකි බැවින් මධ්‍යස්ථ මාවතක වර්තමාන දේශපාලනය ගමන් කළයුතු බවත් අවධාරණය කළේය.

ඒ නිසා අන්තවාදයෙන් මධ්‍යස්ථ දේශපාලන මත දරන්නන් ආරක්ෂා කළයුතු නිසා ඉතිහාසයට විසඳුම් සෙවීමේදී අනාගතය විනාශ නොකරගත යුතු බවත් දකුණේ පක්ෂ උතුරේ මධ්‍යස්ථ පක්ෂ සමග කටයුතු කරන්නට කාලය එළැඹී ඇති බවත් සඳහන් කළේය.

එසේම අතීතය සමග ගනුදෙනුු කිරීමේදී පළිගැනීමේ හා දඩුවම් ලබාදීමේ ප්‍රවිශ්ටයෙන් ඉවත්විය යුතු නිසා ඒ සඳහා සියලූ පක්ෂ සම්මුතියකට එළැඹිය යුතු බවත් ප්‍රකාශ කළේය.

බලය ඛෙදීම සහ ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් පසුගිය රජය පත්කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපතිවරයා වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින් සංහිදියාව අපගේ සංස්කෘතියට අනුකූලව ගොඩනැගිය යුතු හෙයින් බටහිර ජාතින්ගේ යුක්තිය පිළිබඳඅදහස වූ “දතට – දතක්” යන ප්‍රවිශ්ටය මත පදනම් වූ පළිගැනීම පසෙකට දමා අතීතය සමග ගනුදෙණු කිරීමට යාන්ත්‍රයක් ගොඩනැගිය යුතු බව සඳහන් කළේය.

එසේම ස්වෛරීභාවය, නිදහස පදනම් කරගෙන අපගේම වූ යාන්ත්‍රණයක් ගොඩනැගීමත් විදේශ උපදෙස් සීමා කිරීමටත් සැමවිටම එක`ගතාවය මත කටයුතු කිරීමටත් වගබලාගතයුතු බව සදහන් කළේය.

එහිදී එල්.එල්.ආර්.සී, උදලාගම හා පරණගම වාර්තා උපයෝගිකරගත යුතු බවත් අතීතය ගොඩදැමීම වර්තමානයේ සංහිදියාවට බාධාවක් නොවිය යුතු බවත් සදහන් කළේය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කරුණු දක්වමින් මෙකී සාකච්ඡාව ජිනීවා යෝජනා එළිදක්වන්නට පෙර සිදු කළේනම් වඩා ප්‍රායෝගික වන්නට ඉඩ තිබූ බව  සදහන් කළේය.

කෙසේ නමුත් ජාත්‍යන්තර අනුකරණවාදී සැළැස්මක් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබද ප්‍රශ්ණයේදී එවැනි අනුකරණවාදයකට තමන් විරුද්ධ හෙයින් අප විසින් දේශිය යාන්ත්‍රණයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවත් පැවසීය.

එහිදී වැරදි සිදුවී ඇත්නම් දඩුවම් ලබාදිය හැකි බවත්, නමුත් හමුදාවට දඩුවම් ලබා නොදිය යුතු බවත් හමුදාවේ කැපවීම හා පරිත්‍යාගය අප කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතු බවත් සදහන් කරන ලදී.

එසේම යෝජනාවේ අන්තර්ගත බොහෝ කරුණුවලට පිළිතුරුදීම සදහා අප විසින්ම නිර්මාණය කරන ලද කොමිසන් සභා භාවිතා කළයුතු බවත්, නිදහස් රටක් තුළ ජාත්‍යන්තර යාන්ත්‍රණ බිහි කිරීම වැරදි බවත් අවධාරණය කළේය.