16072024Tue
Last update:Wed, 08 May 2024

යුද්ධය ඇති නොවන සමාජයක් වෙනුවෙන් ඔබේ පෑන හසුරුවන්න – ජනපති පවසයි

Presidential Media Unit Common Banner 1නැවත යුද්ධයක් ඇති නොවන සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් අදටත් වඩා ශක්තිමත්ව හෙට ඔබේ පෑන හසුරුවන්නැයි ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා සියලූ කලාකරුවන් සහ සාහිත්‍යධරයින්ගෙන් ඉල්ලීමක් කළේය.

 යුද්ධය හැමවිටම සත්‍යය විනාශ කරන බවත්, යුද්ධය හැමවිටම මිනිසා විනාශ කරන බවත්, යුද්ධය හැමවිටම මහ පොළොව තෙත් කරන රැධිරය සොයා යන බවත්, භෞතික සම්පත් පමණක් නොව යුද්ධය විසින් යුක්තිය, සමාජ සාධාරණත්වය, විනය, හික්මීම ආදි සියලූ යහපත් දේ විනාශ කරන බවත් ජනාධිපතිතුමා වැඩි දුරටත් පැවසීය.

ගරු ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළ කළේ ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

වසර තිහක් තිස්සේ පැවති යුද්ධය අවසන් කොට ජාතික සංහිඳීයාව ගොඩ නැගීම වෙනුවෙන් රජය අවංක උත්සාහයක නිරත ව සිටින මේ මොහොතේ සියලූ ජන කොටස් අතර අවබෝධය ගොඩ නැගීම වෙනුවෙන් ලේඛකයින්, කලාකරුවන්, සාහිත්‍යධරයින් ආදී පිරිස් වෙත සුවිශාල කාර්යයක් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් රජය සමග එක්වන ලෙස ආරාධනයක් ද කළේය.

මිනිසාගේ වේදනාව සමාජයට හඬගා කීවේ ලේඛකයින් බව කී ජනාධිපතිතුමා දාරක ප්‍රේමය, මාතෘත්වය, පිතෘත්වය වැනි මිනිස් හැගීම් සමාජය තුළ ඔසවා තබා මිනිස් සමාජයේ හෘද සාක්ෂිය මතු කොට ගත්තේ ලේඛකයින් හා කලාකරුවන් බව අවධාරණය කළේය.

මෙහිදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන් රචිත හොඳම නවකතා වෙනුවෙන් සහ දිර්ඝ කාලීන සාහිත්‍ය සේවාව වෙනුවෙන් පිරිනමන “සාහිත්‍ය රත්න” සම්මාන ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.

හොඳම සිංහල නවකතාව සේන තෝරදෙනිය ලියූ “බණ්ඩර මැරූ උන්” වෙනුවෙන් එහි ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතාට ද, හොඳම දෙමළ නවකතාව “ඉන්ද වනත්තුක්කුල්” Entha Vannathugul වෙනුවෙන් එන්. පී. අරුලානන්දම්ට ද, හොදම ඉංග්‍රීසි නවකතාව වෙනුවෙන් “නයිට් ඔෆ් ඔලිම්පස්” Knight of Olympus වෙනුවෙන් ඒ.ආර්. ජයතිලකටද පිරිනැමුණු අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දිර්ඝ කාලීන සාහිත්‍ය සේවාවේ නිරත ලේඛකයින් වෙනුවෙන් පිරිනමන “සාහිත්‍ය රත්න” සම්මාන පිළිවෙලින් මහාචාර්ය ජේ.බී. දිසානායක, ආචාර්ය මුල්ලෙයිමනි සහ කපිතාන් එල්මෝ ජයවර්ධන වෙත පිරිනැමිණි.