16072024Tue
Last update:Wed, 08 May 2024

බලය ඉක්මවා ගියොත් නීතිය තදින්

ranil IIIඕනෑම රජයේ නිලධාරියෙකු තමන්ට නීතියෙන් පැවරී ඇති බලය ඉක්මවා කටයුතු කර ඇත්නම් එම නිලධාරියා සම්බන්ධයෙන් නිසි පියවර ගනු ලබන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) අවධාරණය කළේය. ඇවන්ට්ගාඩ් සමාගමේ වියදම් සහ පරිත්‍යාග ලබා ගැනීම සම්බන්ධයෙන් වාර්තා රජය සතුව නොමැති අතර, එම සමාගම විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යම් වරදක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කරන බවද අගමැතිවරයා අනාවරණය කළේය.

ස්ථාවර නියෝග 23(2) යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානයක මහතා විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව ආරක්ෂක ලේකම්වරයා විසින් ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන හා දෙපාර්තමේන්තුවල කටයුතු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ විධානයට යටත්ව මෙහෙයවනු ලබයි. එසේම, 2009 අංක 35 දරණ ආරක්ෂාක මාණ්ඩලික ප්‍රධානී පනතේ 2 (2), 5 හා 7(2) වගන්ති ප්‍රකාරව අරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  විසින් තම කාර්යයන් ඉටු කල යුත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ විධානය, අධීක්ෂණය හා පාලනය යටතේ ය.

එසේම, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන ආරක්ෂක මණ්ඩලය මඟින් ජාතික ආරක්ෂාවට සම්බන්ධ සුවීශේෂී තීරණ ගනු ලැබේ. ආරක්ෂක ලේකම්වරයා ද ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වන අතර එහිදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරේ.

ආරක්ෂවක ලේකම්වරයා පමණක් නොව ඕනෑම රජයේ නිලධාරියෙකු තමන්ට නීතියෙන් පැවරී ඇති බලය ඉක්මවා කටයුතු කර ඇත්නම් එම නිලධාරියා සම්බන්ධයෙන් නිසි පියවර ගනු ලැබේ.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ ගිවිසුමකට ඒ.එස්.පී. ලියනගේ මහතා අත්සන් කර ඇති බවට අනාවරණය වන ලියකියවිලි කිසිවක් දැනට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සතුව නොමැත. මෙම පාවෙන අවි ගබඩාව ජාත්‍යන්තර මුහුදේ පවත්වාගෙන යාම ආරක්ෂක අමාත්‍යවරයා විසින් අනුමත කර ඇති බව එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස්.ඩී. ජයරත්නගේ අංක MOD/UD/CS/FA/1 හා 2012.09.18 දිනැති ලිපිය මගින්ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

නමුත් එම අවි ගබඩාව ගාලු වරායේ ස්ථානගත කිරීමට ලබා දුන් අනුමැතියකට අදාළ ලියකියවිලි ආරක්ෂාක අමාත්‍යාංශය සතුව නොමැත. මෙම ගිනි අවි සඳහා ශ්‍රී ලංකා ජනරජය මඟින් බලපත්‍රි නිකුත් කිරීමක් සිදු කර නොමැත. 2015.01.18 දින පොලිසිය විසින් මෙම පාවෙන අවි ගබඩාව වටලන තෙක් මේ සම්බන්ධව දැනුවත්ව සිටි බවක් නිරීක්ෂණය නොවේ.

ශ්‍රී ලංකාවේ සෑම පෞද්ගලික ගිනි අවියක් සඳහාම ගිනි අවි ආඥා පණත යටතේ ආරක්ෂකක ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන ගිනි අවි බලපත්‍රයක් තිබිය යුතු වේ. එම අවි අධීක්ෂණය කිරීමට පොලිසියට බලතල ඇත. මෙම පාවෙන අවි ගබඩාවේ අවි සඳහා ඇත්තේ එම අවි අයත් රටවලින් නිකුත් කරන ලද බලපත්‍ර වන අතර එම අවි නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ භාර ගැනීම හා නිකුත් කිරීම සිදු කර ඇත.

ඇවන්ගාඩ් ආයතනය සතු පාවෙන අවි ගබඩාවේ ගබඩා කර ඇති අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසරයක් ලබා දීම සිදු කර නොමැත. එබැවින් එම ආයුධ ප්‍රමාණය හෝ ඒවා කුමන රටවල ආයුධ ද යන්න හෝ පිළිබඳ ලියකියවිලි ආරක්ෂක අමාත්‍යාංශය සතුව නොමැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට පිළිතුරක් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා වන බී.එම්.යූ.ඩී. බස්නායක මහතා විසින් ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපතිගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිරීක්ෂණයක් ඉදිරිපත් කර ඇතත් මහේස්ත්‍රාත්වරයාට ලිපියක් ඉදිරිපත් කර නැත.

මෙම නිරීක්ෂණයේ සඳහන් වන්නේ ඇවන්ට්ගාඩ් සමුද්‍රීය සේවා ආරක්ෂක (පුද්ගලික) සමාගම සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් පැවැත්වෙන බැවින් අදාළ විමර්ශන කටයුතු වලට බාධාවක් නොවන ලෙස එම විදේශ ගතවීම සිදු කළ යුතු බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීම යෝග්‍ය බවයි.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිතුමාට මැදිහත් වීම් හෝ බලපෑම් සිදු කර නොමැත. නීතිපතිතුමා විසින් කිසි අවස්ථාවක එකී ආකාරයෙන් අපරාධ චෝදනා යටපත් කර නොමැති අතර, එතුමා විසින් 2015 ජූනි මස 17, 2015 ජූනි මස 14 හා 2015 ඔක්තෝබර් 6 දිනැති උපදෙස් ලිපි මඟින් ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන කටයුතු කර ගෙන යන ලෙස පොලීසියට උපදෙස් දී ඇත. නීතිපතිතුමා කිසි විටක අදාළ නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස හෝ විමර්ශන කටයුතු අවසන් කරන ලෙස උපදෙස් දී නොමැත.

විමර්ශන කටයුතු තව දුරටත් කරන ලෙස පැහැදිලිවම උපදෙස් දී ඇති බැවින්ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දැනටමත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් සහ පොලීසිය විසින් 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කළ හැකි චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර ගෙන යන බැවින් ද මේ වන විට ඉදිරිපත්ව ඇති කරුණු මත ඊට පිටස්තර තවත් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැත.

මුහුදු ආරක්ෂක නිලධාරීන්හට අවශ්‍ය පුහුණු වැඩසටහන් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඇවන්ට්ගාඩ් සමාගමට අනුමැතිය ලබා දී ඇත.

ඇවන්ට්ගාඩ් සමාගම පෞද්ගලික සමාගමක් වන අතර එම සමාගමේ වියදම් සහ පරිත්‍යාග ලබා ගැනීම සම්බන්ධයෙන් වාර්තා රජය සතුව නොමැත. කෙසේ වුවද, ඇවන්ට්ගාඩ් සමාගම විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යම් වරදක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂධණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරමින් පවතී.

ඉහත දක්වා ඇති ගිවිසුමට අමතරව,2013.03.28 වන දින දෙපාර්ශවය විසින් එළඹගත් පරිශිෂ්ටයක් (Addendum) අනුව රක්නා ආරක්ෂක ලංකා ආයතනයට ගෙවීම් කරනු ලබන්නේ පිරිවැටුමෙන් 18% ප්‍රතිශතයක් ලෙසය.ඒ අනුව ඇවන්ට්ගාඩ් සමාගම විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත රුපියල් මිලියන 1014 ක මුදලක් (රු1,014,147,312.20) ලැබී ඇති බවත් රුපියල් මිලියන 475 ක (රු.475,113,351.00) හිඟ මුදලක් අයවිය යුතු බවත් රක්නා ආරක්ෂක ලංකා සමාගම වාර්තා කර ඇත.