16072024Tue
Last update:Wed, 08 May 2024

රටේ සංවර්ධනයට චීනය දෙන සහාය ජනපතිගේ ඇගැයුමට

maithripala sirisena CHINAශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීන රජය ලබාදෙන අඛණ්ඩ සහයෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇගයීමට ලක් වෙයි.

 චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය නායක චීන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ෂැන්ග් මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අද කොළඹ මෙන්ම ශ්‍රී ලංකාවේ සතර දිග් භාගයේම ගමන් කරන විට චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සංවර්ධන ව්‍යාපෘති දැකගත හැකි බව පැවසූ ජනාධිපතිතුමා අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ද චීන රජයේ දායකත්වය නොඅඩුව අපේක්ෂා කරන බව කියා සිටියේය.

එමෙන්ම අද ශ්‍රී ලංකාවට අභියෝගයක්ව ඇති දිළිඳුභාවය ජයගැනීම සඳහා චීන රජයේ සහය අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකාව අතර පැවති දීර්ඝකාලීන සබඳතා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර සබඳතාව පිළිබඳව ද මෙහිදී නායකයන් අතර විශේෂ කතා බහට ලක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පැවති සෑම අවස්ථාවකදිම චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ තිබූ සබඳතා දැඩි වූ බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.