16072024Tue
Last update:Wed, 08 May 2024

මැතිව්ස්ට සම්මාන පිට සම්මාන

20102015 130897990773718527 svgඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ට ප්‍රධාන සම්මාන හතරක් හිමිවිණි.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පිට පිට දෙවැනි වතාවටත් හිමිකර ගත් මැතිව්ස්ට ටෙස්ට් පිතිකරු, ජාත්‍යන්තර එක්දින පිතිකරු හා හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානද හිමිවිණි.

මේ සම්මාන උළෙල ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පෙරේදා රාත්‍රියේ පැවැත්විණි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විශේෂ ආරාධිත අමුත්තා විය.

මැතිව්ස් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ දස්කම් 2015 වසරටත් දීර්ඝ වූවද ඔහුට මේ සම්මාන ලැබුනේ පසුගිය වසරේ දක්ෂතාවන් වෙනුවෙනි. මේ සඳහා 2014 ජනවාරි සිට 2014 දෙසැම්බර් දක්වා කාලය සැළකිල්ලට ගැනුණු අතර එම වකවානුව තුළ මැතිව්ස් 77.33ක සාමාන්‍යයකින් යුතුව ලකුණු ටෙස්ට් ලකුණු 1160ක්ද, 62.20ක සාමාන්‍යයකින් යුතුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලකුණු 1244ක්ද ලබා ගත්හ. මීට අමතරව මැතිව්ස් මේ වකවානුව තුළ එක්දින කඩුලු 18ක්ද (සාමාන්‍යය 36.16) ලබා ගත්තේය.

රංගන හේරත් ට ටෙස්ට් පන්දු යවන්නා සම්මානය හිමිවූයේ 27.17ක සාමාන්‍යයකින් යුතුව කඩුලු 56ක් ලබා ගත් 2014 වසරක් වෙනුවෙනි. සාමාන්‍යය 21.63කින් යුතුව කඩුලු 38ක් ලබා ගත් අජන්ත මෙන්ඩිස් ට හොඳම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පන්දු යවන්නා සම්මානය හිමිවිය.

කුසල් ජනිත් පෙරේරා හා නුවන් කුලසේකර පිළිවෙලින් ජාත්‍යන්තර විස්සයි20 පිතිකරු හා පන්දු යවන්නා සම්මාන දිනා ගත්හ. එම සම්මානයට අමතරව කුසල් ජනිත් ට ‘වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානයද හිමිවිය.

‘ජනතා කැමැත්ත’ සම්මානය හයවැනි වසරටත් හිමිකර ගත්තේ කුමාර් සංගක්කාර ය.

කාන්තා ක්‍රිකට් අංශයේ හොඳම පිතිකාරිනිය සම්මානය හිමිකර ගත්තේ චමරි අතපත්තු ය. ඉනෝකා රණවීර හා එෂානි ලොකුසූරියගේ හොඳම පන්දු යවන්නිය හා හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව සම්මාන දිනා ගත්හ.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙවර අගයා තිලකරත්න ඩිල්ෂාන්, කුමාර ධර්මසේන හා රොෂාන් මහානාමට විශේෂ සම්මාන පිරිනැමුණි. මාධ්‍යවේදීන් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය අගයමින් දිනමිණ ක්‍රීඩා කර්තෘ වර්නන් ගුණසේකර, එස්.ආර්.පතිරවිතාන (ද සන්ඩේ ටයිම්ස්) සහ මංගල ධර්මප්‍රේම (ලක්බිම) මහත්වරුන් විශේෂ ජීවකාල සම්මානයෙන් පිදුම් ලැබූහ.

මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක යෙදී සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද මේ අවස්ථාවට සහභාගි වූ අතර හිටපු කොදෙව් ක්‍රීඩකයන් වන ක්ලයිව් ලොයිඩ්, කර්ට්ලි ඇම්බ්‍රෝස් හා රිචී රිචඩ්සන් ද සම්මාන ප්‍රදානය කළහ.

ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

ජනතා කැමැත්ත සම්මානය – කුමාර් සංගක්කාර

ටෙස්ට් පිතිකරු – ඇන්ජලෝ මැතිව්ස්

ටෙස්ට් පන්දු යවන්නා – රංගන හේරත්

ජාත්‍යන්තර එක්දින පිතිකරු – ඇන්ජලෝ මැතිව්ස්

ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නා – අජන්ත මෙන්ඩිස්

ජාත්‍යන්තර එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

විස්සයි20 පිතිකරු – කුසල් ජනිත් පෙරේරා

විස්සයි20 පන්දු යවන්නා – නුවන් කුලසේකර

වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා – කුසල් ජනිත් පෙරේරා

කාන්තා පිතිකාරිනිය – චමරි අතපත්තු

කාන්තා පන්දු යවන්නිය – ඉනෝකා රණවීර

කාන්තා තුන් ඉරියව් ක්‍රීඩිකාව – එෂානි ලොකුසූරියගේ

වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අතින් සම්මාන ලබාගත් අයුරු

රංගන හේරත් හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ක්ලයිව් ලොයිඩ් මහතා අතින් සම්මාන ලබමින්.

කර්ට්ලි ඇම්බ්‍රෝස් මහතා අතින් හොඳම එක්දින පන්දු යවන්නාට හිමි සම්මානය අජන්ත මෙන්ඩිස්ට

විස්සයි 20 හොඳම පන්දු යවන්නා ලෙස නුවන් කුලසේකර හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා අතින් සම්මාන ලබාගත් අයුරු.

ඩයලොග් ආසියාටා සමගාමේ මෙහෙයුම් ප්‍රධානී අස්වාන් ඛාන් මහතා අතින් වසරේ නැඟී එන ක්‍රීඩකයා සම්මාන කුසල් ජනිත් පෙරේරාට

වසරේ හොඳම එක්දින පිතිකාරිනිය චමරි අතපත්තු ජාත්‍යන්තර තරග තීරක ඩේවිඩ් බූන් මහතා අතින් සම්මාන ලබමින්

.වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය ඉනෝකා රණවීර ජාත්‍යන්තර තරග තීරක ඩේවිඩ් බූන් මහතා අතින් සම්මාන ලබමින්.

තුන් ඉරියව් ක්‍රීඩිකාව ඒෂානි කෞෂල්‍යා ජාත්‍යන්තර තරග තීරක ඩේවිඩ් බූන් මහතා අතින් සම්මාන ලබමින්.

සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ කළ විශිෂ්ට මාධ්‍ය මෙහෙවර අගයමින් ‘දිනමිණ’ ක්‍රීඩා කර්තෘ වර්නන් ගුණසේකර ට ද විශේෂ සම්මානයක් පිරිනැමිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා අතින් වර්ණන් ගුණසේකර එම සම්මානය ලබාගත් අයුරු.