16072024Tue
Last update:Wed, 08 May 2024

ජනතාවගේ විශ්වාසය දිනා රට සංවර්ධනය කිරීම අරමුණයි

siyalu 01රටේ සියලූ ජන කොටස්වල විශ්වාසය දිනා ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යෑමට තම ආණ්ඩුව කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය . ඒ සඳහා ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල සහායක් රජයට ලැබී ඇති බවත් ලබන ජනවාරි මාසයේ සිට නව රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කඳුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ලේ වැඩ ආරම්භ කිරිමේ උත්සවයට (18) එක්වෙමිනි.

 රටේ අනාගතය වෙනුවෙන් සිදුකළ හැකි ඉහළම ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සිදු කරන ආයෝජන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ සියලූ පාසල් අංග සම්පූර්ණ ලෙස ගොඩනඟමින් සියලූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම නව රජයේ වැඩපිළිවෙළ බවද කියා සිටියේය.

රටේ සංවර්ධන වැඩපිළිවෙළ විටින් විට වෙනස්වීම්වලට ලක් වන්නේ දේශපාලන තීන්දු තීරණ නිසාවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය සංවර්ධනය උදෙසා ගමන් කරන රටකට සුදුසු තත්ත්වයක් නොවන බවද කී ජනාධිපතිවරයා , එබැවින් දේශපාලන පක්ෂවල මතිමතාන්තරවලින් එහා ගිය පොදුජන පදනමකින් රට සංවර්ධනය කරා ගෙන යෑම නව රජයේ අපේක්ෂාව බවද කීය .

සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනාගෙන රට සංවර්ධනය කරා ගෙන යෑමේ අවශ්‍යතාවද පැහැදිලි කළ ජනාධිපතිවරයා පසුගිය කාලයේ ඇතැම් දිස්ත්‍රික්කවල ඉදිකෙරුණු මං තීරු 04 කාපට් පාරවල්වල අද කිසිවෙකු ගමන් නොකරන තත්ත්වයට පත්ව ඇත්තේ සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනා නොගෙන කටයුතු කිරීම නිසා බව කීය.

siyalu 02රට සංවර්ධනය කරා ගෙන යාමට රජය ක්‍රියාත්මක කර ඇති ජාතික වැඩසටහන් සමඟ රටේ සියලූ ප්‍රදේශ එක සමාන සංවර්ධනයකට ගෙන යාම නව රජයේ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා රටේ සියලූ ජන කොටස් අතර සාමය, සහෝදරත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනඟා යළි කිසිදු දිනක රට තුළ යුද්ධයක් ඇති නොවීමට පසුබිම සැකසීමට රජය කැපවී සිටින බව කියා සිටියේය.

නොපෙනෙන දේශපාලන බලවේග විසින් එදා මුස්ලිම් පල්ලිවලට පහර දුන් , ව්‍යාපාර ගිනිබත් කළ යුගය සිහිපත් කළ ජනාධිපතිවරයා එවැනි ආකාරයේ කිසිඳු ක්‍රියාකාරකමට ඉඩ නොතබා රටේ සියලූ ජනතාවගේ නිදහස සුරක්ෂිත කිරීම අලුත් ආණ්ඩුවේ අරමුණ බවද පැවසීය.

නව දෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ලට මුල් ගල් තැබීම වෙනුවෙන් ඉදිකළ සමරු ඵලකය නිරාවරණය කිරීම මේ අතර ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව ඉරහඳ කෙටූවැව මහා විද්‍යාලයේ නව තාක්ෂණික විද්‍යාගාරය හා තාක්ෂණික විද්‍යා පීඨය සිසු අයිතියට පැවරීමද ජනාධිපතිවරයාගේ අතින් සිදු විය.

විද්‍යාලයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට ත්‍යාග ප්‍රදානය කිරිමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ, උතුරු මැද පළාත් සභා මන්ත්‍රී එස්. අන්සාර්ත් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.