20042025Sun
Last update:Tue, 07 Jan 2025

බස්නාහිර නව නගර සංවර්ධන සැලැස්මක්

ranil 01රී ලංකා මෙගා පොලිස් බස්නාහිර පළාත කේන්ද්‍ර කොටගත් නව නගර සංවර්ධන ව්‍යාපෘතියේ සංශෝධිත සැලැස්ම සිංගප්පූරුව විසින් භාරදෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මේ සැලැස්ම මේ වසර නිමාවනවිට මෙරටට ලබාදෙනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා විශ්වාසය පළකෙළේ ය. වසර 2004 දී සිංගප්පූරුවේ සෙස්මා ආයතනය විසින් මේ සැලැස්ම සකස් කොට තිබුණි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය වෙත භාරදුන්න ද ඔවුන් එය ක්‍රියාත්මක නොකළ බව ද අගමැතිවරයා පෙන්වා දෙයි.

බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍රකොටගත් නව නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් රටේ ආර්ථිකයේ, ජන ජීවිතයේ විශාල පිබිදීමක් සිදුවනු ඇත. ශ්‍රී ලංකා ආර්ථිකයෙන් සියයට පනහක් බස්නාහිර පළාතේ දායකත්වය මත ක්‍රියාත්මකයි. ඉතිරි පළාත් අටහිම දායකත්වය සියයට 50කි. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන නව නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා පවසයි.

දකුණු ආසියානු කලාපයේ ආර්ථික, ව්‍යාපාරික ප්‍රමුඛ මධ්‍යස්ථානය බවට කොළඹ පත් කිරීම අරමුණු කොටගෙන නව සැලැස්ම ක්‍රියාත්මක කරනු ලැබේ. ඉතා ඉහළ ප්‍රමිතියකින් ගුණාත්මක බවින් සමන්විත දර්ශනීය සාප්පු සංකීර්ණ, වෙළෙඳ හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය මින් බිහිවනු ඇත.

මේ මෙගා පොලිස් ව්‍යාපෘතියට අමතරව නැ‍ඟෙනහිර කලාපය කේන්ද්‍රය කොට ගනිමින් ත්‍රිකුණාමලය දියුණු කිරීමේ මහා සැලැස්මක් සකස් කරන්නැයි අගමැතිවරයා සිංගප්පූරුවෙන් ඉල්ලීමක් ද කෙළේ ය.

තමා මෑතක දී සිදුකළ ඉන්දියානු හා ජපානයේ රාජ්‍යතාන්ත්‍රික සංචාර අතරතුර දී ත්‍රිකුණාමලය කලාපයේ ආයෝජන සිදු කිරීමට දෙරටේ ආයෝජකයෝ බොහෝ උනන්දු බව ද අගමැතිවරයා පවසයි.

ත්‍රිකුණාමලය සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමට ඇති අවස්ථා ඉස්මතු කර ගැනීමට ද මේ සැලැස්මෙන් බලාපොරොත්තු වෙන බව ද අගමැතිවරයා සඳහන් කරයි.