* මෙරට මානව හිමිකම් ප්‍රශ්නය පිළිබඳ ජිනීවා වාර්තාව නිකුත් වීමත් සමඟ විදුලි පුටුව මෙන්ම ආර්ථික සමබාධක සම්බන්ධයෙන් පැවැති බිය ද පහව ගිය නමුත් ඇතැම් පිරිස් දේශීය යාන්ත්‍රණය පිළිබඳ නොයෙක් අදහස් පළ කරමින් සිටිති. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දෙමළ ජනතාවට හැඟෙන ආකාරය පිළිබඳ ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දාගෙන් විමසන්නට අදහස් කළේ එහෙයිනි.
* එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය අප රට සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව පිළිබඳ විවිධ පාර්ශව නොයෙකුත් මත පළ කරනවා. උතුරු පළාත නියෝජනය කරන දේශපාලකයෙකු හැටියට ඔබ මේ පිළිබඳ දරණ අදහස කුමක්ද?
කතාවක් තියෙනවා දරු ප්‍රසූතියක දී වින්නඹුකම කළාට පසු එතනින් එහාට දරුවා හදා වඩා ගැනීම කළ යුත්තේ මවුපියන් කියලා. වින්නඹු මාතාවගේ උපදෙස් දරුවා හදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ප්‍රශ්නයත්. විදේශ රටවල නොඑසේ නම් ජාත්‍යන්තරයට මේ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි සීමාවක් තියෙනවා. අපේ රටේ ජාතීන් අතර සංහිඳියාව රැකෙන පරිදි දේශීය යාන්ත්‍රණයකින් පරීක්ෂණයක් පැවැත්වීමයි වැදගත් වෙන්නේ. නමුත් මෙහිදී ජාත්‍යන්තරයේ සහාය ලබා ගන්නට ගැටලුවක් නැහැ. එහෙත් මේ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ඔවුන්ට ඉඩ දිය යුතුත් නැහැ. වඩා වැදගත් ම කාරණය වන්නේ ජාතික සංහිඳියාව ඇති කිරීමයි. ලෝකයේ තනි රටක් ලෙස අපිට ජීවත් වෙන්නට බැහැ. ඒ නිසා ජාත්‍යන්තරයේ හොඳ හිතත් රැකගෙන අපට ගැළපෙන යාන්ත්‍රණයකින් මේ සඳහා විසඳුමක් ලබා ගැනීමයි වැදගත්. එහිදී අංක එක විය යුත්තේ ජාතික සංහිඳියාවයි.
* මානව හිමිකම් සැසියේ දී අපට එරෙහිව චෝදනා ඉදිරිපත් වුණේ නැහැ.මෙරට මානව හිමිකම් යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන අලුත් තත්ත්වය ගැනයි කතා බහට ලක් වුණේ. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
අපි අපේ ප්‍රශ්න හරියාකාරව විසඳා නොගත් නිසයි ජාත්‍යන්තරය දක්වා දිවෙන තරමට ප්‍රශ්නය උඩු දිව්වේ. මානව හිමිකම් සැසියේ දී ඔය කියන යාන්ත්‍රණයක් ගැන යෝජනා වුණා තමයි. නමුත් අපට තවමත් කාලය තිබෙනවා මේ ප්‍රශ්න සඳහා දේශීය යාන්ත්‍රණයකින් පිළිතුරු සොයන්න. ඊපීඩීපී සංවිධානයේ අපි දැඩිව දරණ මතය වන්නේ අපේ ප්‍රශ්න අපි විසඳාගමු කියන එක. මේ ප්‍රශ්නයට මැදිහත් වීමට ජාත්‍යන්තරයට යම් ප්‍රමාණයකට පමණයි හැකියාව ලැබෙන්නේ. ඉතිරිය අපි විසඳා ගත යුතුයි. අපේ රටේ භෞමික අඛණ්ඩතාවට හානියක් නොවන විදියට අපි කටයුතු කිරීමයි වැදගත් වන්නේ.
* යම් හෙයකින් ඔබ කියන පරීක්ෂණය සිදු කෙරුණොත් එය මෙරට පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. ඒ වගේම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි. මේ පිළිබඳ ඔබේ මතය කුමක්ද?
මේ සම්බන්ධයෙන් නම් විවිධ පාර්ශ්ව විවිධ මත දරනවා. අපි කියන්නේ ජාතික සමඟිය රැකෙන පරිදි මොන ක්‍රමයකින් හරි සත්‍ය අනාවරණය කරන්න කියන එකයි. ඒ වගේම පීඩාවට පත් ජනතාවට යුක්තිය හා සහනය ලබා දෙන්න ඕනෑ. යම් හෙයකින් වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒ අයට අනිවාර්යයෙන් දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම තමයි ලංකාවේ සංහිඳියාව ගොඩනංවා ගැනීමට මෙය අවස්ථාවක් කරන ගන්න ඕනෑ. අපි ඊපීඩීපී සංවිධානය විදියට පාර්ලිමේන්තුවේ දී මේ සඳහා සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. එය බොහෝ විට එළඹෙන 22, 23 දිනවල සිදුවෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ සාකච්ඡාවට අපි ‘දරුස්මාන් වාර්තාව’, ‘පරණගම වාර්තාව’, ‘යූ.එන්.වාර්තාව’, ආදී වාර්තා අධ්‍යනය කරලයි සහභාගී වන්නේ. මක් නිසාද අපි හිතුමතේට මෙවැනි දේවල් සිදු කිරීමෙන් පළක් නැති නිසා. මනා අධ්‍යනයක් කළ යුතුයි. අපිත් පිළිගන්නවා පාර්ලිමේන්තුවෙත් එය සම්මත විය යුතු බව.
එල්.එල්.ආර්.සී වාර්තාවේ ඊපීඩීපී සංවිධානය පිළිබඳ පළ වූ වාර්තා පිළිබඳ ඔබ තුළ යම් අමනාපයක් තියෙන බව පැවසෙනවා. හේතුව කුමක් විය හැකිද?
ඔය එල්.එල්.ආර්.සී වාර්තාවේ සඳහන් වෙලා තිබුණා අපෙන් අහපු නැති ප්‍රශ්න අහපු විදියටත් අපි නොදුන් ප්‍රකාශ උත්තර විදියටත්. එහිදී අපි ඊපීඩීපී සංවිධානය විදියට ඒ සඳහා නීතිමය පියවර ගත්තා. අපි නොපවසපු දෑ සඳහන් කිරීම සම්බන්ධයෙන් අප ළඟ ලිඛිත සාක්ෂි මෙන් හඬ පට ද තිබෙනවා. කොහොම වුණත් ඔන්න ඔය කාරණය නිසා අපි මේ ප්‍රශ්නයේ දී ඒ පිළිබඳ සඳහන් සියලු වාර්තා අධ්‍යනය කරනවා. ඊට පසුවයි අපි අපේ යෝජනාව කුමක්ද කියා පවසන්නේ. කොහොම වුණත් එල්.එල්.ආර්.සී වාර්තාවෙන් පසු එම කොමිසම විසුරුවා හැරියා.අපිට එයට එරෙහිව නීතිමය පියවර ගන්න නොහැකි වුණා. ගන්නවා නම් යම් පියවරක් ගන්න තිබුණේ ජනාධිපතිට එරෙහිවයි. එකල 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක නිසා ඒකත් නොහැකි වුණා. අන්න ඒ පාඩම අපි ඉගෙන ගත් නිසා ඉහත සඳහන් කළ සියලු වාර්තා අපි අධ්‍යනය කරනවා. මොකද උතුර නියෝජනය කරන ජනතා නියෝජිතයෝ හැටියට අපි ඔවුන්ට සහනයක් ලබා දීමට අැප කැප විය යුතුයි.
* මානව හිමිකම් කවුන්සලයේ කෙටුම්පත් සමහරු හඳුන්වන්නේ බෙදුම්වාදයට පිළියෙළ කර තිබෙන ලියැවිල්ලක් ලෙසටයි. මේ තත්ත්වය පිළිබඳ ඔබ දරණ අදහස?
දෙමළ භාෂාව කතා කරන බොහෝ පිරිස් බෙදීමකට එහෙමත් නැති නම් වෙන්වෙලා යෑමකට කැමැත්තක් දක්වනේ නැහැ. කෙටියෙන්ම කිවහොත් ශ්‍රී ලාංකිකයෝ කියන තැන ඉඳන් කටයුතු කිරීමටයි බහුතර දෙමළ ජනතාවගේ කැමැත්ත තියෙන්නේ. බෙදී වෙන් වීමකට ඔවුන් කිසිසේත් ම කැමැති නැහැ..
ඒ නිසා එක් පාර්ශ්වයක් පමණක් නොවෙයි මේ පාර්ශ්ව දෙකම එකට එක් වී කටයුතු කළ යුතුයි. කෙසේ හෝ මේ ජනතාවට සහනයක් අත් විය යුතුයි. අපි අත්වැල් බැඳගෙන නැඟී සිටිය යුතුයි. ජාතික සංහිඳියාව ගොඩනැඟිය යුතුයි. ඒකීය රටක් ලෙස ඉදිරියට යා යුතුයි. එහෙම නම් ඔය ලියැවිල්ල අපි අධ්‍යනය කළ යුතුයි. ඉන් පසුවයි අපි උත්තර දිය යුත්තේ.
* ඒ කියන්නේ මේ ලියැවිල්ල සම්බන්ධයෙන් තවම පූර්ණ අවබෝධයක් නොමැති ද?
ඒ ලියැවිල්ල පමණක් නොවෙයි මේ සම්බන්ධයෙන් මින් පෙර පළමු ලියැවිලි ද අධ්‍යනය කර රටේ ඒකීයභාවයට හානි නොවන, පීඩාවට පත් ජනතාවට සහනයක් වන විසඳුමකට යා යුතුයි. ඒ කියන්නේ පාර්ශ්ව ද්විත්වයම එක් වෙලා ජාතික සංහිඳියාව ගොඩ නැඟිය යුතුයි කියන මතයේ තමයි ඊපීඩීයේ අපි ඉන්නේ.
* උතුරේ හමුදා කඳවුරු යම් ප්‍රමාණයකට ඉවත් කළා. එවායේ වෙසෙන ජනතාවගේ ඉඩම් නැවත ලබා දුන්නා. පශ්චාත් යුද සමයේ දී එහි වෙසෙන ජනයාගේ ජීවිත නැවත ගොඩනගන්නට රජය කටයුතු කරනවා.මේ සඳහා ඔබ පාර්ශ්වය දරන්නා වූ සහයෝගය කුමක් ද?
අපි බලන්නේ, හැමෝම එකම රටේ මිනිස්සු. ඒ වගේම එක්සත් ජාතියක්. එය එසේ නම් දකුණට එක් විදියක්. උතුරට තවත් විදියක් විය යුතු නැහැ. දැන් යුද්ධය අවසන් නිසා දකුණේ ඇති නිදහසම උතුරට ලබා දිය යුතුයි. දකුණේ ඉඩම් නිදහස් කරලා තියෙන්නේ. එහෙනම් උතුරෙත් ඉඩම් සියල්ලම නැවත ජනතාවට ලබා දිය යුතුයි. සමහර සරුසාර ඉඩම්වල හමුදා කඳවුරු තියෙනවා. ඉතින් ඒවා නැවත එම ජනතාවට ලබා දෙන්න.
හොඳම උදාහරණය තමයි ඕමන්තේ මුරපොළ. එය ආරක්ෂක විධිවිධාන අතින් අවශ්‍ය දෙයක් නොවෙයි. හිටපු ජනාධිපතිතුමාට අපි කිව්වා එය ඉවත් කරන්න කියලා. නමුත් එය කළේ නැහැ. ජනතා හැඟීම් සමඟ අපි සෙල්ලම් කළ යුතු නැහැ. එවිට නොසිතූ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙනවා. දකුණේ නිදහස ‘රත්තරං’ නම් උතුරේ නිදහස ‘ටකරං’ විය යුතු නැහැ.
* ඔබ එසේ කිව්වට අපි සිටින්නේ පශ්චාත් යුද සමයක . සමහර පිරිස් පුනරුත්ථාපනය කළ යුතුයි. රජය ඒ සඳහා ක්‍රියාමාර්ග නොගන්නවා කියලද ඔබ කියන්නේ?
නැහැ. රජය පියවර ගන්නවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. රජය අත්පත් කරගත් ඉඩම් නැවත ජනතාවට ලබා දිය යුතුයි. ඊට හොඳම උදාහරණය අර ප්‍රසිද්ධ ‘මයිරිටි ධීවර වරාය’. එය ජනසතු කර නැහැ. එවැනි තැන් නැවත ජනතාව සතු විය යුතුයි. වගාවට හොඳ සරුසාර ඉඩම් රජය තබා නොගෙන ජනතාවට ලබා දිය යුතුයි. එය ප්‍රමාණවත් පරිදි වෙන්නේ නැහැ.මේ ගැටලු රාශියක් තියෙනවා.
ලංකාවේ ජාතික ආර්ථිකයට කෘෂි කර්මාන්තයෙන් සහ ධීවර කර්මාන්තයෙන් සහාය වූ මිනිස්සු උතුරේ ඉන්නේ. ඒ නිසා ඔවුන්ගේ දේවල් ඔවුන්ට නැවත පවරා දිය යුතුයි. අපි විශ්වාස කරනවා මේ යහපාලන ආණ්ඩුවෙන් මේ සියල්ල නිදහස් කරලා ජනතාවට ලබා දෙයි කියලා.
* වසර තිහක යුද්ධයෙන් විනාශ වූ බිම් නැවත එක රැයකින් ගොඩ නඟන්න බැහැ නේද?
අපි එය පිළිගන්නවා. නමුත් මූලික කටයුතු ටිකවත් ඉතා කඩිනමින් සිදු කළ යුතුයි. අපි දන්නවා මේ සඳහා කාලයක් ගතවන බව. නමුත් කෙරෙන බව පෙනෙන්නට තිබිය යුතුයි. අපි ඒ සඳහා ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලීම් කරලා තියෙනවා.
* විද්‍ය දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඔබේ පාර්ශවයට චෝදනා නැඟුණා. ඒ සම්බන්ධයෙන් අදහසක් පළ කළ හැකි ද?
එය අපි අකැමැත්තෙන් වුවත් මතක් කළ යුතු සිදුවීමක්. නමුත් අපිට චෝදනා එල්ල වුණා කියන කාරණය නම් බොරු. එහි සත්‍යතාවය කුමක්ද කියලා දැක් ලෝකයම දන්නවා. පශ්චාත් යුද මානසිකත්වය තියෙන තැනක එවැනි සිදුවීම් විය හැකියි. අපි කළ යුත්තේ ඒවා වළක්වන්න උපරිම කැපවෙලා වැඩ කරන එක. විද්‍යා පමණක් නොවෙයි දැන් මේ රටේ ප්‍රදේශවලින් එවැනි සිදුවීම් වාර්තා වෙනවා. අප කළ යුත්තේ සභ්‍යත්වය හා සාරධර්ම ආරක්ෂා වෙන විදියට කටයුතු කිරීම.
අපට මේ සිද්ධිය ගැන පමණක් නොවෙයි ප්‍රේමදාස මහතා හැර අනෙක් බොහෝ ඝාතනයන්ට චෝදනා අප වෙත එල්ල වුණා. ඒත් පසු කලෙක සත්‍ය එළි වුණානේ.
මේ වගේ සිද්ධි සම්බන්ධයෙන් ආගමික නායකයින් සිවිල් සංවිධාන ආදී ක්‍රියාකාරීන් එකතු වී නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
* උතුරේ ධීවර ජනතාවට බොහෝ වෙලාවට තමිල්නාඩු ධීවරයින්ගෙන් ගැටලු ඇති වෙනවා . මේ සඳහා යෝජනාවක් තියෙනවද?
උතුරු මුහුදු සීමාවෙන් මෙරටට පැමිණෙන ධීවරයින් අහිංසකයි. නමුත් එම බෝට්ටු අයිති ඒ රටේ මුදලාලිලාට. එයාලගේ කීමට කුලියටයි ඔවුන් වැඩ කරන්නේ. අපි ඒ නිසා 1979 දී අංක 59 දරණ විදේශීය ධීවර විධිවිධාන පනත යටතේ පියවර ගත යුතුයි. විදේශීය යාත්‍රා අප සන්තකයට ගෙන ධීවරයින් නිදහස් කළ යුතුයි. මේ සඳහා ආගමන විගමන පනතට වඩා ඉහත සඳහන් කළ 1979 අංක 59 දරණ ධීවර විධිවිධාන පනත යටතේ පියවර ගත යුතුයි.
අනෙක් කාරණය වන්නේ රාජ්‍ය තාන්ත්‍රිකව මේ සඳහා පියවර ගත යුතුයි. අසල්වාසී ඉන්දියාව අපට සිටින මිතුරු රාජ්‍යයක්. ඔය දකුණු ඉන්දියාවේ සිටින ව්‍යාපාරිකයින් තමයි මේ සඳහා වග කිව යුත්තේ. ඒ නිසා අපි කියන්නේ ආම්පන්න හා බෝට්ටු අප සන්තකයට අරන් ධීවරයින් නිදහස් කළ යුතුයි කියලා. මොකද ඔවුන් කුලීකරුවන් නිසා.
* දෙමළ ජාතික සංවිධානය කියනවා ඔවුන් තමයි දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා කියලා?
ඕනෑම කෙනෙකුට අදහස් දැක්විය හැකිය. අපි අන්තවාදී නැහැ. තනි පක්ෂයක් විදියට මෙවරත් උතුරෙන් වැඩි ඡන්ද ලබා ගත්තේ අපි. ඔවුන් පක්ෂ තුන හතරක් එකතුකරගෙනයි ඡන්දෙට ඉදිරිපත් වුණේ.
කාලයක් තිස‍්සේ දෙමළ ජනතාවගේ ගැටලු දිහා බැලුවේ අපි. සමහරු අන්තවාදීව කටයුතු කළ නිසයි දෙමළ ජනතාවට මෙවැනි ගැටලුවලට මුහුණ දෙන්න වුණේ. ඕනෑම කෙනෙකුට අදහස් දක්වන්න පුළුවන්. නමුත් එම කියමන් ප්‍රජාතන්නත්‍ර විරෝධීයි.