16072024Tue
Last update:Wed, 08 May 2024

සියලූ ජන කොටස්වල විශ්වාසය දිනා ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යන බව ජනපති පවසයි

098 1140x654රටේ සියලූ ජන කොටස්වල විශ්වාසය දිනා ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමට නව රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයි.
ඒ සඳහා ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල සහායක් රජයට ලැබී ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ලබන ජනවාරී මාසයේ සිට නව රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බවද පැවසීය.

 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කඳුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් පංති කාමර ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරිමේ උත්සවයට අද (18) පෙරවරුවේ එක් වෙමිනි.
රටේ අනාගතය වෙනුවෙන් සිදුකළ හැකි ඉහළම ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සිදු කරන ආයෝජනයන් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ සියලූ පාසල් අංග සම්පූර්ණ ලෙස ගොඩ නඟමින් සියලූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම නව රජයේ වැඩපිළිවෙළ බවද කියා සිටියේය.

රටේ සංවර්ධන වැඩපිළිවෙළ විටින් විට වෙනස්වීම්වලට ලක් වන්නේ දේශපාලන තීන්දු තීරණ නිසාවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය සංවර්ධනය කරා ගමන් කරන රටකට සුදුසු තත්ත්වයක් නොවන බවත්, එබැවින් දේශපාලන පක්ෂවල මතිමතාන්තරවලින් එහා ගිය පොදුජන පදනමකින් රට සංවර්ධනය කරා ගෙන යාම නව රජයේ අපේක්ෂාව බවත් කියා සිටියේය.

සංවර්ධනයේ ප‍්‍රමුඛතා හඳුනාගෙන රට සංවර්ධනය කරා ගෙන යාමේ අවශ්‍යතාවයද පැහැදිළි කළ ජනාධිපතිතුමා පසුගිය කාලය තුළ ඇතැම් දිස්ති‍්‍රක්කවල ඉදිකෙරුණු මං තීරු 04 කාපට් පාරවල්වල අද කිසිවෙකු ගමන් නොකරන තත්ත්වයට පත්ව ඇත්තේ සංවර්ධනයේ ප‍්‍රමුඛතා හඳුනා නොගෙන කටයුතු කිරීම නිසා බවද කියා සිටියේය.

රට සංවර්ධනය කරා ගෙන යාමට රජය කි‍්‍රයාත්මක කර ඇති ජාතික වැඩසටහන් සමඟ රටේ සියලූ ප‍්‍රදේශ එක සමාන සංවර්ධනයකට ගෙන යාම නව රජයේ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා රටේ සියලූ ජන කොටස් අතර සාමය, සහෝදරත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනගා යළි කිසිදු දිනක රට තුළ යුද්ධයක් ඇති නොවීමට පසුබිම සැකසීමට රජය කැපවී සිටින බව කියා සිටියේය.
නොපෙනන දේශපාලන බලවේග විසින් එදා මුස්ලිම් පල්ලිවලට පහර දුන් මෙන්ම මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර ගිනිබත් කළ යුගය සිහිපත් කළ ජනාධිපතිතුමා එවැනි ආකාරයේ කිසිඳු කි‍්‍රයාකාරකමට ඉඩ නොතබා රටේ සියලූ ජනතාවගේ නිදහස සුරක්ෂිත කිරීම නව රජයේ අරමුණ බවද පැවසීය.

———————–

අද පෙරුවේ කඳුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම වෙනුවෙන් ඉදිකළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ, උතුරු මැද පළාත් සභා මන්තී‍්‍ර එස්. අන්සාර්ත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව ඉරහඳකෙටූවැව මහා විද්‍යාලයේ නව තාක්ෂණික විද්‍යාගාරය හා තාක්ෂණික විද්‍යා පීඨය සිසු අයිතියට පැවරීමද ඊයේ (17) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් සිදු විය.

මහවැලි ජී කලාපයේ ඉඩම්ලාභීන් වෙත ඔප්පු ප‍්‍රදානය කිරීමද ඒ හා සමගාමීව සිදු විය.ඉන් අනතුරුව ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව, අත්තනකඩවල මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදිමේ උත්සවයට ජනාධිපතිතුමා සහභාගී විය.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින්ද මහත් සෙනෙහසින් යුතුව පිළිගත්හ.විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවද නිරත වූ අතර සිසු දරුවන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

විද්‍යාලයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට ත්‍යාග ප‍්‍රදානය කිරිමද ජනාධිපතිතුමා අතින් සිදු විය. එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජනපි‍්‍රය පාසල් සඳහා දරුවන් ඇතුළත් කිරීමට දෙමව්පියන් අතර ඇති තරගය අවම කරමින් දිවයිනේ සියලූ පාසල් සම පහසුකම් ඇති අංග සම්පූර්ණ පාසල් ලෙස ගොඩනගන බවයි.

උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන නාලක කොළොන්නේ, සිඞ්නි ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

01

03

05

07

08