17052024Fri
Last update:Wed, 08 May 2024

දේශීය යාන්ත්‍රණයක හොඳ-නරක විද්වත්හු පෙන්වා දෙති

scholarsශ්‍රී ලංකාවේ සිදු වුවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනක් සිදු කිරීම වෙනුවට දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් මේවන විට වාද -විවාද හටගෙන තිබේ. යුරෝපීය රටවල සිටින කොටි හිතවාදීහු මේ දේශීය පරික්ෂණයට එරෙහිව පෙළ පාළි යමින් උද්ඝෝෂණය කරමින් දෙමළ ජනතාවගේ අත්සන් ලබාගෙන පෙත්සම් ඉදිරිපත් කරමින් සිටිති. තමිල්නාඩුවේ ප්‍රධාන පෙලේ කොටි හිතිවාදී දේශපාලඥයකු වන මක්කල් ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් නායක වයිකෝ හෙවත් වයිගෝපා සාමි තමිල්නාඩුවේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වු අතර එහිදි සාමය කඩවීමේ චෝදනාව මත ඔහු ඇතුළු 700 දෙනකු අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කෙළේය. එම තත්ත්වය තුළ දේශීය යාන්ත්‍රණයක ඇති වැදගත්කම සහ ඒ පිළිබඳව විද්වතුන් දැක් වු මත කිහිපයක් මෙසේ ඉදිරිපත් කිරීම කාලෝචිතය.

 

උතුරේත් දකුණේත් අන්තවාදීන් බලන්නේ අසුබ විදියටමයි
මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි

ජිනිවාවලින් යෝජනා වූ දේශීය යාන්ත්‍රණය දෙස උතුරේ අන්තවාදීන් හා දකුණේ අන්තවාදීන් එක්ව අසුබවාදිව බැලිම තුළින් ශ්‍රී ලංකාවේ දේශපාලන පසුබිමට කිසිඳු ප්‍රගතියක් අත්වන්නේ නැතයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මහතා පවසයි.

තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා කියාසිටින්නේ මේ අන්තවාදි නිදහස් හා ඔප්පුවන්නේ මේ දේශයට සුගතියක් හොඳක් වෙනවාට වඩා නැවතත් පීඩාවට පත් කිරීමක් බවත් ද්‍රවිඩ අන්තවාදයට විමල් වීරවංශ, ගුණදාස අමරසේකර වැනි දකුණේ ජාතිවාදීන්ද එක්ව නැවතත් කලු පැල්ලමක් එක්කිරීමට කටයුතු කරන බවත්ය.

මෙම ප්‍රශ්නය සහ මේ අවස්ථාව දෙස මේ දෙපාර්ශවයට නම්‍යශිලිව බැලිය යුතු බවත් මින් ගොඩබෑමට බැරි වුනොත්, බලවත් අභියෝගයක් අපරට හමුවේ පවතින බවත්, පැවසු මහාචාර්ය වරයා එය ඇ‍ඟේ කනුත් තිබෙනවා වගේ යැයිද කීය.

පෞද්ගලිකව තමන් අදහස් කරන්නේ මහින්දගේ කාලයේ පැවති ධනවාදි රටවල ප්‍රතිපත්තිය ජනවාරි 08 සහ අගෝස්තු 17වු පෙරලියෙන් පසු වෙනස් උන බවත් ඇමරිකාවද සිය ප්‍රතිපත්තිය වෙනස් කළ බවත්, ඉන් අපරට ප්‍රයෝජන ගතයුතු බවත්, පැවසු මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මහතා ඉදිරියේදී අන්තවාදි ප්‍රතිපත්ති බැහැර කළ යුතු බවත්, එසේ නොමැති උවහොත් උතුරේ දෙමළ තරුණයන් කිනම් ආකාරයට කටයුතු කරනු ඇත්දැයි සිතා ගැනීමට බැරි බවත්ය.

කෙසේ වෙතත් ජිනිවා ජාත්‍යන්තර ප්‍රශ්නයට මධ්‍යස්ථව සිතා පිළිතුරු සොයන්නේ නැතිනම් අතුරේ යන්නාගේ තත්ත්වයට අපරට පත්වන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

 

ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක මතය වෙනසකට ලක්ව තිබෙනවා
ආචාර්ය ප්‍රදීප් පෙරේරා

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක මතය වෙනසකට ලක් වු බව ජනහිතකාමී සංවර්ධන සංවිධානයේ සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා මහතා ප්‍රකාශ කෙළේය .

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය .

තිස්වසරක යුද්ධය අවසන් වූ පසු ශ්‍රීලංකාවට බධා ඇති වුණා.යුද්ධයට මුහුණ දුන් හමුදා පිරිස් ජාත්‍යන්තර අධිකරණය හරහා වැරදිකරුවන් කිරීමේ දැඩි උත්සාහයක් පැවතුණා . මේ තත්ත්වය සොයා බැලීමට නවනීදන් පිල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කළා . මුළු රටම ඊට විරුද්ධ වුණා . එම විමර්ශන කණ්ඩායමට රටට ඇතුළුවීම තහනම් කළා . නමුත් එය සාර්ථක වුණේ නැහැ . ඒ පිළිබඳ රටින් පිටත සිට විමර්ශනයන් සිදු කැර වාර්තාවක් සැකසුවා .

මේ සියලු දේ පදනම් කැර ගෙන ශ්‍රීලංකාවට ආර්ථික සම්පාදක පවා පැන වුණා . ජී .එස් .පී සහන නැති කළා . එම අවස්ථාවේ ශ්‍රීලංකාව පැවසුවේ දේශීය යාන්ත්‍රණයක් තුළින් මේ ගැන සොයා බලන බවය . එහෙත් ජාත්‍යන්තරය ඊට එකඟ වූයේ නැහැ . ඊට හේතු වුයේ ඔවුනට ශ්‍රීලංකාවේ අධිකරණය පිළිබඳ විශ්වාසයක් නොතිබීමයි .

එවන් භයානක අභියෝගකට මුහුණ දෙමින් සිටින මොහොතක ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ ආණ්ඩුව රටේ ඇති කළ යහපාලනය සමඟ ශ්‍රීලංකාව පිළිබඳ ලෝකයේ තිබූ මතය සම්පූර්ණ වෙනස් වුණා . පසුගිය මාස අටක කාලය තුළ ශ්‍රී ලංකාවේ පරිපාලනය , ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම ජනතාවගේ ප්‍රශ්න වලට කන්දීම , අධිකරණය සහ පොලීසියේ ස්වාධිනත්වය ,දේශපාලන බලපෑම්වලින් තොරව රාජ්‍ය ආයතනවල කටයුතු ස්වාධීන සිදු වීම , ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට පවරා දෙමින් ඇති කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ගොඩනඟා ගත්තා. එම විශ්වාසය මත ජාත්‍යන්තර යුද විමර්ශනය , ජාත්‍යන්තර අධිකරණ නැමැති බලපෑම් පසෙකලා දේශීය යාන්ත්‍රණයට ඉඩ දීම අප ලද ජයග්‍රහණයක්.

අපහට ලැබුණු මෙම අවස්ථාවට පිටුපාන්න ගියහොත් එය අවාසනාවන්ත තත්ත්වයක් විය හැකිය . දේශීය යාන්ත්‍රණය කඩාකප්පල් කිරීමට අවශ්‍ය වන්නේ කොටි හිතවාදීන්ට බව කිව හැකියි . ඔවුන්ට අනුබල දෙමින් සිටින්නේ දේශපාලන වාසි තකා කටයුතු කරන පිරිස් බව නොරහසක් . එවන් දේශපාලඥයන්ට රටේ ජනතාව තව දුරටත් රැවටීමට නොහැකිය .

 

දේශිය යාන්ත්‍රණයක් ගැන විශ්වාසයක් නැහැ
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

දේශීය යාන්ත්‍රණය පිළිබඳව විශ්වාසයක් නෑ. අවසන් යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ජාත්‍යන්තර පරීක්ෂණයක්ම සිදු කළ යුතුයි.

ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බලකර සිටිනවා. දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවෙන් ගැටලු රැසක් මතුවෙනවා. එම යෝජනාව ගැන අපි කනගාටු වෙනවා.

මේ දේවල් ක්‍රියාත්මක කරන්න පෙර උතුරේ හමුදාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්ද? මේ නිසා තමයි අපි ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටින්නේ.

අභ්‍යන්තර විමර්ශනයක් කිරීමේ දී විදේශීය රටවල සිටින අයට සාක්ෂි දෙන්න පුළුවන්ද?

 

දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ලැබිම අපේ රට ලද භාග්‍යක්
නීතීඥ නෙවිල් කරුණාරත්න

යුද සමයේ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ලැබිම අපේ රට ලද භාග්‍යක් යැයි ජ්‍යෙෂ්ඨ නීතීඥ නෙවිල් කරුණාරත්න මහතා ප්‍රකාශ කෙළේය .

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය .

අපේ රට තුළ අභ්‍යන්තර පරීක්ෂණයක් තැබීමට එකඟවිම පිළිබඳ සතුටු වෙනවා . මානව හිමිකම් කඩවීම පිළිබඳ පරීක්ෂණයක් නොපැවැත්වීම පිළිබඳ අපට තර්ජන එල්ල වෙනවා . අපේ හමුදාව යුද අපරාධ කැර නැතැයි අපි විශ්වාස කරනවා . ඔවුන්ට ඔවුන්ගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට මෙය හොඳ අවස්ථාවක් . අභ්‍යන්තර පරීක්ෂණය සිදු කෙරෙන්නේ අපේ රටේ නීතිය යටතේයි . එය අපේ රටට හොඳ අවස්ථාවක් .

එල් .ටී .ටී ඊ.සංවිධානයට අවශ්‍ය මෙම ප්‍රශ්නය දිගටම ඇදගෙන යෑමටයි . රට ඉදිරියට ගෙන යන්න ඔවුන්ට අවශ්‍ය නැහැ . රටේ නිමාවට පත්වූ ප්‍රශ්න ඇදගෙන යෑමට අවශ්‍ය නැහැ . එසේ නම් එළාර යුද්ධය පිළිබඳවත් මානව හිමිකම් පරීක්ෂණයක් සිදු කළ යුතු වෙනවා .ජාත්‍යන්තර විශ්වාසය රටකට ඉදිරි ගමනට අවශ්‍යයි. එල්.ටී .ටි ඊ.සංවිධානය දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කැර තිබෙනවා . ඒ බව පසුගිය මැතිවරණ ප්‍රතිළුලවලින් සනාථ වුණා . එල්.ටී .ටි සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයකට කැමති නැහැ . උතුරු ජනතාව දෙමළ සන්ධානය පිළිගෙන තිබෙනවා . එය පැහැදිලියි . එසේම දෙමළ සංවිධානය ඇතුළු සුළු ජාතික පක්ෂ වත්මන් ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා . එය හොඳ ප්‍රවණතාවක් . සිංහල , දෙමළ , මුස්ලිම් සියලු ජනකොටස් එක් කොට රටක් පාලනය කිරීමට ලැබීම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් . වත්මන් ආණ්ඩුවට එහි ගෞරවය හිමි විය යුතුයි . දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ලැබිම අපේ රට ලද භාග්‍යක්.

 

යුද අපරාධ ගැන සොයන්න ජාත්‍යන්තර විමර්ශන ඕනෑ
උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිදරන්

යුද අපරාධ ගැන සොයන්න අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර විමර්ශනයක් පමණයි‍. මමත් යුද්ධයෙන් විපතට පත් වූ අයෙක්. මගේ සැමියාත් යුද්ධයෙන් අතුරුදන් වෙලා. දේශීය යාන්ත්‍රණයකින් මේවාට විසැඳුම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බලකර සිටින්නේ මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

 

අපේ රටේ ගැටලු රට තුළම විසඳා ගත යුතුයි
මහාචාර්ය සුදත්ත ලියනගේ

අපේ රටේ ගැටලුවලට මොන බලපෑම් ආවත් එවා රට තුළම විසඳා ගත යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා පැවසිය.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

විදේශිය අතපෙවීම් වලින් තොරව මේ ගැටලුව විසඳා ගන්න අපිට හැකියාවක් තිබිය යුතුයි.

අපට හොඳ අධිකරණ පද්ධතියක් තිබෙනවා. මොන ආණ්ඩු තිබුණත් මොන බලපෑම් ආවත් අපේ අධිකරණය ඉතා හොඳ තීන්දු තීරණ අරගෙන තිබෙනවා. අපේ රටේ ‍ඉතා ඉහළ තත්ත්වයේ අධිකරණ පද්ධතියක් තිබෙනවා.

දේශීය යාන්ත්‍රණයක් මඟින් අපේ ගැටලුව විසඳා ගත යුතු අතර මේ පරීක්ෂණය සිදු කිරීමේදී විදේශීය නිරීක්ෂකයින් සම්බන්ධ කර නොගත යුතුයි. නමුත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විද්වතුන්ගෙන් උපදෙස් ලබා ගත්තාට ප්‍රශ්නයක් නැහැ. මේ යාන්ත්‍රණය අපේ අය සම්බන්ධ කර ගෙන අපේ අධිකරණයක් තුළ සිදු කළ යුතුයි. මෙයට පිටස්තර අය සම්බන්ධ කර ගැනීමෙන් අපේ රටේ ස්වෛරීභාවයට බලපෑම් ඇති වෙනවා. අපි තුන් වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් .

අපට තවත් ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවාදෙමළ ඩයස්පෝරාව‍ හෝ වෙනත් ජාතිවාදී කණ්ඩායම් හෝ එක්ව මේ ගැටලුවට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලීම ගැන අපි පුදුම විය යුතු නැහැ. මේ අය හැමදාමත් කටයුතු කෙළේ ඊලම වෙනුවෙන්. මේ අයට අවශ්‍ය වන්නේ කෙසේ හෝ රට බෙදන්න. ඒ නිසයි මේ අය මේ බලපෑම් කරන්නේ. විදේශී අතපෙවීම් ඉල්ලා සිටිමෙන් පහසුවෙන්ම ඒ අයගේ අවශ්‍යතාවය ඉටු කර ගන්නට හැකියාව ලැබෙනවා.

 

දේශීය විමර්ශනයකින් දෙමළ ජනතාවට සෙතක් නෑ
වයිගෝ පාල සාමි හෙවත් වයිකෝ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ස්ථාපිත කිරීමට යන දේශීය විමර්ශනය තුළින් දෙමළ ජනතාවට සෙතක් අත්වන්නේ නැතැයි මක්කල් ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයේ නායක වයිගෝ පාල සාමි ෙහවත් වයිකෝ ප්‍රකාශ කරයි . එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව විමර්ශනය වාර්තාව දෙමළ ජනතාවට හානිකර ලෙස බලපානවා .

එම යෝජනාවේ සාධාරණත්වය සහ ශක්තිය විනාශ කර තිබෙනවා . ඊට එරෙහිව දිගින් දිගටම විරෝධතා දියත් කරනවා .

 

අලුත් දෘෂ්ටි කෝණයකින් බලන්න මානව හිමිකම් කවුන්සිලය කටයුතු කිරීම සතුටක්
මහාචාර්ය මුදියන්සේ දිසානායක

යුද ගැටුම් පැවැති කාලයේ දී මේ රටේ සිදු වුයේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර තිබු යෝජනා නිසා අපේ රටට විශාල ගැටලු මතු වු බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා පැවසිය.

තවදුරටත් ඒ මහතා මෙසේ කීය.

නමුත් දැන් එම කවුන්සිලය මේ ගැටලුව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා . අපේ නව සම්මුතිවාදී ආණ්ඩුවේ වැඩපිළිවෙළ දෙස අලුත් දෘෂ්ටි කෝණයකින් බලන්න මානව හිමිකම් කවුන්සිලය කටයුතු කිරීම විශාල සතුටක්.

 සාකච්ඡා සටහන- සමන්මලි ප්‍රියශාන්ති ,නිරුෂි විමලවීර ,නිහාල් ජයවර්ධන