30042024Tue
Last update:Thu, 18 Apr 2024

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ පැසසුමට

president msgsgjgg format 1140x4991 1140x499 1140x499ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදුකරනු ලබන කැපවීම සහ ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ පැසසුමට ලක් වෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා අතර පැවති හමුවකදී අමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ වෙනස්කම් පිළිබද තමා මහත් සතුටට පත්වන බවද ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ඉදිරියේදී රටේ සංහිදියාව ගොඩනැගීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යුද්ධයක් අවසන් වූ පසු රට තුළ එය සිදුවිය යුතු බව තමා දැඩිලෙස විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දුගී බව තුරන් කිරීමට ඇමරිකාවේ සහාය අපේක්ෂා කරන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඒ සදහා සිය රජයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

19 වන ව්‍යස්ථා සංශෝධනය සිදු කිරීම සහ කොමිෂන් සභා පිහිටුවීම තුළින් අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාව තුළ යහපාලන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම බවද ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා මෙහිදී පැවසූ අතර ශ්‍රී ලංකාව නිවැරදි සංවර්ධන මාවතකට ගෙන යන බවද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මුන් මහතා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද ලෝක නායකයින්ගේ ප්‍රසාදයට පත්වූ රාජ්‍ය නායකයෙක් බවත් ඒ අන් කිසිවක් නිසා නොව එතුමා රට නිවැරදි දිශාවකට ගමන් කරවන රාජ්‍ය නායකයෙක් නිසා බවත් ය. ඒ සදහා ශ්‍රී ලංකා රජයට සහ ජනාධිපතිවරයාට තම ආශිර්වාදය හිමිවන බව ද  මහලේකම්වරයා අවධාරණය කළේය.

දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුන් යේ මහත්මිය සහ ජනාධිපතිතුමා අතර හමුවක්ද සැසිවාරය අතරතුර පැවති අතර එහිදී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය නායක දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඉදිරියේදී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයට ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් ඉහළ ප්‍රතිචාර හිමි විය.

ශ්‍රී ලංකාවේ විශාල පාරිසරික ගැටලූවක් බවට පත්ව ඇති කැළි කසළ ප්‍රශ්නයට විසදුම් සෙවීමට සහයවන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට තම රජය කටයුතු කරන බව දකුණු කොරියානු ජනාධිපතිනිය පැවසුවාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ නවසිලන්ත අගමැති ජෝන් කී මහතා අතර හමුවක්ද ඉන් අනතුරුව පැවැත්විණි.

නවසිලන්ත ආයෝජකයින් ඉදිරියේදී වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට යොමු කිරීමට අපේක්ෂා කරන බව පැවසූ නවසිලන්ත අග්‍රාමාත්‍යවරයා දෙරටේ ද්වි පාර්ශවිය සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබදවද ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළේය.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය හෙට (30) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඇමතීමට නියමිතය.

“70 වන වසර සපුරන එක්සත් ජාතින්ගේ සාමය,ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබද ඉදිරි මග” යන තේමාව යටතේ ප්‍රධාන සැසිය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 7.30 – 8.30 අතර ජනාධිපතිතුමා සිය දේශනය සිදු කරනු ඇත.