16072024Tue
Last update:Wed, 08 May 2024

පොකුරු ගම්මාන වැඩපිළිවෙළ ඇරැඹේ

pokuru gammanaඑකමුතුකම, සහෝදරත්වය සහ සහයෝගීතාවය රජයන ගලෙන්බිඳුණුවැව ගම්මාන පහක් මුල්කොට රජයේ පොකුරු ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩපිළිවෙළ ඇරැඹේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව රටපුරා පිහිටි ගම්මාන විසි දහසක් එකසේ නගාසිටුවීමට පොකුරු ගම්මාන දෙදහස් පන්සියයක් සියලු යටිතල පහසුකම්වලින් යුක්තව වැඩිදියුණු කැරේ.

ඒ අනුව ගලෙන්බිඳුණුවැව, මාවතවැව, තම්මාන්නාගම, මයිලගස්වැව, පඬිකෙටුවැව සහ කොළොන්ගස්වැව එක්කොට නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

ජනාධීපති උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන නාහිමියෝ ප්‍රධාන මහා සංඝරත්නය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ප්‍රසන්න ප්‍රේමරත්න, ප්‍රධාන විධායක නිලධාරි හා සාමාන්‍යාධිකාරි ටී. ඒ. ආරියපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එක පන්සලයි - ගම්මාන පහයි මෙහි පිහිටා තිබේ. මේ ගම්මාන පහේම ගොවි ජනතාව පුදුමාකාර එකමුතුකමකින් සහෝදරත්වයකින් බැඳී සිටිති.

ගමේ ගොවිතැන මූලික ජීවනෝපායයි. ඒ නිසා ගොවිතැන් කටයුතු සියල්ල සිදුකරනුයේ ගමේම ජීවත්වෙන අයයි. පිට ගම්මානයකින් කිසිදු කුලීකරුවෙක් මෙහි සේවයට නොපැමිණෙති.

අත්කම් ක්‍රමයට එක යායට ගොවිබිම් ගොඩනැගී ඇත. අස්වැන්න මිලදී ගැනීමට පිටින් වෙළෙඳුන් ගමට පැමිණෙන්නේ නැත. ගමේම ජනතාව තම අස්වනු සියල්ල එක්රැස් කො‍ට දඹුල්ලට ගෙනැවිත් ඉහළ මිලකට විකුණා වැඩි ආදායම් ලබා ගනිති. මේ ගමෙහි ඇති සුවිශේෂිත්වයයි.

සමඟිව රැස්වන්න, සමගිව කතා කරන්න, සමගිව විසිර යන්න! ලිච්චවි රජ දවස භාරත මාතාව පාලනය කළා සේ සිරිලක ගම්මාන විසිදහස නගාසිටුවීමේ පොකුරු ගම්මාන දෙදහස් පන්සියය බිහිකිරීමේ වැඩපිළිවෙළ ඓතිහාසික අනුරාධපුරය, ගලෙන්බිඳුණුවැව මේ ගම්මාන පහේන් ආරම්භ කිරීම ඉතාම හොඳ තෝරාගැනීමක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන නාහිමියෝ පැවැසුහ.