16072024Tue
Last update:Wed, 08 May 2024

මාධ්‍ය සහායට ස්තූතියි

commissioner desapriyaමෑතකදී පැවැති ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණවලදී තම දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට මාධ්‍ය මෙන්ම දේශපාලඥයන් සහ ජනතාව දැක්වූ අවනතභාවයට තමාගේ ස්තූතිය පුදකර සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටී.

විශේෂයෙන් මේ රටේ අනාගත භාරකරුවන් වන තරුණ පරම්පරාව අපේක්ෂා කරන විනිවිදභාවය සුරක්ෂා කර දීමද වගකීමක් වන හෙයින් මේ මැතිවරණවලදී දැක්වූ එඩිතර, විනිවිදභාවය තවදුරටත් අප රට තුළ ආරක්ෂා කිරීමට නිලධාරීන් හා සෑම ක්ෂේත්‍රයක්ම වගබලා ගත යුතු බවත් හෙතෙම පැවසීය.

මැතිවරණ කොමසාරිස්වරයා මේ අදහස් පළ කළේ ඊයේ (21) මහනුවර දිසාලේකම් කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකට එක්වෙමිනි.

ආසන්නයේ පැවති මැතිවරණ දෙකෙහි දී ම රජයේ නිලධාරීන් එම මැතිවරණයන් සාර්ථකව පවත්වා ගැනීමට දුන් සහයෝගය ඇගයීම, පසුවිපරම් කිරීම සඳහා ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ විශේෂ රැස්වීම පැවැත්වූයේ මහනුවර කච්චේරියේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදීය.

රටක නීතිය සියල්ලටම ඉහළින් පවතින හෙයින් ඉදිරියේදීත් අප සැම ඊට අවනත විය යුතු බවත්, මෙම පාර්ලිමේන්තු මැතිවරණය රජයේ නිලධාරීන් මඟින් ඉටුනොකර පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ඉටු කළේ නම් රජය වැයකළ මුදල වන මිලියන 350 නොව මිලියන 3500ක් වැයවන්නේ යැයිද ඒ මහතා කීය.

බිම්තඹුරුවැලක් අඹරා සාදාගන්නා ලණුවක් මෙන් ශක්තිමත්ම සමස්ත රාජ්‍ය සේවයම එකාමෙන් කටයුතු කිරීමත් විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දුන් අභීත සහයක් අගය කරන බවත් ඒ මහතා පැවසීය.

මාස 08 ක් තුළ ජනපතිවරණයක්ද මාස 02ක් තුළ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට ලද සහාය විශිෂ්ට බවත්, කී ඒ මහතා මින් ඉදිරියේදී මැතිවරණ කෙරෙන්නේ කෙසේදැයි සැලසුම් කළ යුත්තේ ව්‍යවස්ථාදායකය මගින් යයිද කීය.

එම ක්‍රමය සමානුපාතිකද, කොට්ඨාස ද, විද්‍යුත් ක්‍රමයටද යන්න තීරණය කිරීම ඔවුන් සතු බවත්, ඡන්දයේ සෑම සිදුවීමක්ම අභියෝගයක් යැයිද පැවසීය.

ඇතැම් අවස්ථාවල නාමයෝජනා භාරදීම ඡන්ද ප්‍රකාශ කිරීම මාධ්‍යයට අහුරා තිබුණේ ඇයිදැයි මාධ්‍යකරුවකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඒ මහතා, මේ රටේ පවතින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සංඛ්‍යාව අනුව එවන් අවස්ථා ආවරණය කිරීමට පසුබිම සලසා දීමට නම් එම කටයුතු සිදුකළ යුත්තේ, බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී හෝ නෙළුම් පොකුණේ දී බවද කීය.