16072024Tue
Last update:Wed, 08 May 2024

කොමිෂන් වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට

Sinhala1409 3ජිනීවාහි පවතින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරවලට සමගාමීව ශ්‍රී ලංකා රජය විසින් වැදගත් කොමිෂන් වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

අවතැන්වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව මේ මස අග දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග පවසයි. එම කොමිසමේ වාර්තාව එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සති දෙකකට ඉහත දී බාර දී තිබේ.

යුද ගැටුම් පැවැති අවධියේ දෙපාර්ශ්වයම විසින් සිදු කරන ලද ජාත්‍යන්තර මානව නීතිය උල්ලංඝනය කිරීම හෝ යුද අපරාධ සම්බන්ධයෙන් මෙම වාර්තාවේ කරුණු දක්වා ඇති අතර, මින් ඉදිරියට එවැනි තත්ත්වයක් උදා නොවීමට වගබලා ගැනීමට අදාළ යෝජනා ඉදිරිපත් කර තිබේ.

මේ අතර එල්. ටී. ටී. ඊ. යට විරුද්ධ සටනේ අවසන් අදියර ආරම්භවීමට මාස කිහිපයකට පෙර රාජ්‍ය නොවන සංවිධානවලට අයත් 17 දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ විශ්‍රාමික විනිසුරු නිස්සංක උදලාගමගේ වාර්තාව ද ප්‍රසිද්ධ කිරීමට සැලසුම් කර තිබේ.

2006 අගෝස්තු 4 දින මුත්තුර්හි දී රාජ්‍ය නොවන සංවිධානවලට අයත් 17 දෙනෙක් ඝාතනයට ලක් කිරීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ සොයා බැලීමට උදලාගම කොමිසම පත්කරන ලදී. එම පරීක්ෂණයේ වාර්තාව යොමු අංක CRI/185/2007 යටතේ, 2007 අප්‍රේල් 18 දින නීතිපති වෙත ‍ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත් ඝාතන සම්බන්ධ පරීක්ෂණවල දී එවකට පැවැති ශ්‍රී ලංකා රජයේ විශ්වසනීයබව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ අයට සැක සංකා තිබිණි.

ජාත්‍යන්තරයේ බලපෑම් හේතුවෙන් සිද්ධින් රැසක් පිළිබඳ විමර්ශනය කිරීමට විනිසුරු නිස්සංක උදලාගමගේ ප්‍රධානත්වයෙන් අටපුද්ගල පරීක්ෂණ කොමිසමක් 2006 දී පත්කරන ලදී. ත්‍රිකුණාමලයේ දී ශිෂ්‍යයන් පස්දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සහ මුත්තුර්හි දී “ඇක්ෂන් එගෙන්ස්ට් හංගර්” සංවිධානයේ සහන සේවකයන් ඝාතනය කිරීමේ සිද්ධිය ද ඊට ඇතුළත් ය.

කොමිසම විසින් එකී කටයුතු නිම කළත්, රජය විසින් අදාළ වාර්තා‍ව ප්‍රසිද්ධ කළේ නැත. රාජපක්ෂ රජය විසින් පත්කරන ලද උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසම විසින් ද එය ප්‍රසිද්ධ කිරීමට නිර්දේශ කරන ලදී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ වාර්තාවට ශ්‍රී ලංකා රජය විසින් දින පහක් ඇතුළත ලිඛිතව ප්‍රතිචාර දක්වනු ඇත.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ඇති වාර්තාව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයට සිකුරාදා බාර දී තිබේ.

සැප්තැම්බර් 14 වෙනිදා පැවැත්වීමට නියමිත සැසිය විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා විසින් ඇමතීමට නියමිත ය.

ඔහුගේ කථාවට පෙර යුද අපරාධ වාර්තාවේ පිටපතක් ද එහි දී කියවීමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි සෙයිඩ් අල්හුසේන් කුමරු මංගල සමරවීර මහතා ඉරිදා මුණගැසීමට නියමිත විය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් තම කාර්යාලයේ සොයාගැනීම් මත කොමසාරිස් විසින් ඉදිරිපත් කරනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සභාපති, තානාපති ජොකිම් රියුකර් ඉන්දීය ඉන්දීය පුවත් සේවය (P.T.I.) වෙත පවසා තිබේ.

සති තුනක මෙම සැසි වාරය ඉතා කුතුහල ගන්වන සුළු එකක් වනු ඇතැයි ඔහු පවසා තිබේ.

මෙහි දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ශ්‍රී ලංකාව, යුක්‍රේනය සහ සිරියාව පිළිබඳ සාකච්ඡා කරන බව ඔහු පවසා තිබේ. මෙම ප්‍රවීණ ජර්මන් ජාතික රාජ්‍යතාන්ත්‍රිකයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට පත්කරනු ලැබූවේ පසුගිය ජනවාරියේ දී යි.