16072024Tue
Last update:Wed, 08 May 2024

නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට එක්වෙමු

 RanilWigremesinghe August2015ජයග්‍රාහකයන් සහ පරාජිතයින් ලෙස බෙදා වෙන් නොකර එක මවකගේ දරු කැල සේ නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේ කාර්යයට අප සැම එක්විය යුතු යැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ජනවාරි 08 වැනිදා විප්ලවය ඉදිරියටගෙන යමින්, යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.

 මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියලු පාර්ශ්වයන්ට මාගේ ස්තූතිය පළකරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදාකර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමකි.

දැන් ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදා වෙන්කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහිකරලීමේ කාර්යයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උරදිය යුතු වෙමු.

ඒ අභියෝගාත්මක කාර්ය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි. අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහිකරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලුත් රටක් නිර්මාණය කරමු.