16072024Tue
Last update:Wed, 08 May 2024

පක්ෂය මගේ බූදලයක් නෙවෙයි - සාම්පූර් කඳවුර ඉවත් කළේ මහින්ද නිසයි

201761054444 Lඉදිරි ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිවලට සහය ලබාදෙන බව ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය පවසා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහෙත් වෙනත් අවස්ථාවන්හිදී ඒ ඒ පක්ෂ තම තමන්ගේ පක්ෂ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරනු ඇති බව වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද (11) ටී.වී දෙරණ 360 විශේෂ වැඩසටහන සමග එක්වෙමිනි.

 

2005 වසරේදී දෙමළ ජනයාගේ ඡන්දය ලබා නොදීමට එල්.ටී.ටී.ඊය විසින් තමාගෙන්ද මුදල් ඉල්ලා සිටි බවත්, තමන් එසේ ලබා නොදුන්නද මහින්ද රාජපක්ෂ මහතා විසින් අවස්ථා දෙකකදී එල්.ටී.ටී.ඊයට මුදල් ලබාදුන් බව හෙතෙම සිහිපත් කළේය.

ඒ අනුව මුලින් මිලියන 200 ක්ද පසුව වෙනත් ආයතනයක් හරහා මිලියන 2000 ක්ද ලබාදුන් බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙසේ මුදල් ලබාදීමට කොන්දේසි ලෙස ඉදිරිපත් කර තිබුණේ රාජපක්ෂ පවුලේ කිසිවෙකුටත් හානි නොකිරීම බවද, එකී‍ කොන්දේසි බිඳවැටුණේ 2006 දී ගෝඨාභය රාජපක්ෂ මහතාට බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසුව බවද අග්‍රාමාත්‍යවරයා මෙම වැඩසටහනේදී පෙන්වා දුන්නේය.

2005 වසර වෙද්දී එල්.ටී.ටී.ඊය දුර්වල වී පැවති බවත්, ජ්‍යෙෂ්ඨයින් බෙදී වෙන්වී තිබුණු බවත්, සුනාමියෙන් දැවැන්ත ලෙස හානි සිදුව තිබුණු බවත් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, ඒ මොහොතේ එල්.ටී.ටී.ඊය මර්දනය කළේ නම් දෙපාර්ශවයටම විය හැකි හානි අවම විය හැකිව තිබුණු බව සඳහන් කළේය.

එහෙත් මෙම කාලය තුළ රාජපක්ෂගෙන් මුදල් ගත් එල්.ටී.ටී.ය එම මුදල් මගින් තම ශක්තිය වර්ධනය කර ගත් බවත්, හාර පන්දහසක අලුතෙන් පිරිසක් බඳවාගෙන පුහුණු  කළ බවත් ඔහු අවධාරණය කළේය.

තවමත් එල්.ටී.ටී.ඊ ය සතුව පැවති රත්‍රන් හමුවී නැති බවත්, නැව් හමුවී නැති බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා හමුවූ එකම දේ කේ.පී පමණක් බවත්, ඔහුගේ ආරක්ෂාව සහතික කිරීම ඇතුළුව වියදම් වැඩිවීමක් මිස කිසිදු වාසියක් අත්ව නොමැති බව කියා සිටියේය.

කේ.පී සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා කමිටුවකට බාරදී ඇති බවත්, අනෙක් අතට ඉන්දියාව විසින්ද කේ.පී ඉල්ලා ඇති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හිමිවන්නේ කාටදැයි ඇසූ ප්‍රශ්නයේදී හෙතෙම කියා සිටියේ එජාපය යනු තමන්ගේ බූදලයක් නොවන බව හා තමන්ගෙන් පසු නායකත්වය හිමිවන්නේ කාටද යන්න පක්ෂය විසින් තීන්දු කරනු ඇති බවයි.

ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන්ට සිදුවූ දේ ගැන අඛණ්ඩව පරීක්ෂණ සිදුකෙරෙන බවත්, එපමණක් නොව සෙසු මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් සම්බන්ධයෙන්ද සොයා බලන බවත් අග්‍රමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

පසුගියදා බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී සිදුවූ පාතාල ගැටුම සම්බන්ධයෙන් එජාපයේ ප්‍රබලයින් ඊට සම්බන්ධදැයි කළ විමසීමේදී වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිචාරය වූයේ ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

මෙම බ්ලුමැන්ඩල් සිදුවීමට අදාළව වැරදිකරුවන්ට තරාතිරම ‍නොබලා දඬුවම් ලබාදෙන ලෙස පොලීසියට දන්වා ඇති බවත්, පාතාලය යළි රටට ඇතුළුවී හිස ඔසවන්නේනම් එහි වගකීම පොලිස්පතිවරයා විසින් ගතයුතු බවද වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

ආන්දෝලනයට තුඩුදුන් මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ඉදිරි පාර්ලිමේන්තුවේදී පාර්ලි‍මේන්තු තේරීම් කාරක සභාවක් මගින් විමර්ශනය කරන බවද, තමා විසින් පත්කරන ලද කමිටුවෙන් මහබැංකු අධිපතිවරයා නිදහස් කළා සේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඔහුට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලද තත්ත්වයක් තුළ රාජ්‍ය නිලධාරියෙකු සේවයෙන් ඉවත් කිරීමට තමාට හැකියාවක් නොමැති බව අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එජාප ආණ්ඩුවක් ඉදිරියේදී පත්වුවහොත් ජලයට බද්දක් අයකරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා සිටියේ එකී චෝදනා මුළුමනින්ම අසත්‍ය බවයි.

එවැනි වැඩපිළිවෙලක් ගැන කැබිනට් පත්‍රිකාවක් හෝ ඇත්නම් පෙන්වන ලෙස සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම ජලයට බදු අයකිරීමක් නොකරන බවට මෙහිදී සහතික විය.

සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතිසංවිධාන කිරීමට මිස පුද්ගලීකරණය කිරීමටද අදහසක් නොමැති බවත්, අධිකාරියක් යනු පුද්ගලික ආයතනයක් නොවන බවත්, එක් පුද්ගලයෙකු විසින් ගනු ලබන තීන්දු තීරණ වෙනුවට  කිහිපදෙනෙකුගෙන් යුතු මණ්ඩලයක බහුතර කැමැත්තෙන් තීන්දු ගන්නා තැනක් බවට පත්කිරීමෙන් විවිධ අදහස් ගැටී වඩාත් සුභවාදී තීරණය ගැනීමට අවකාශයක් නිර්මාණය වන බව ඔහු පෙන්වා දුන්නේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ ෆෙඩරල් යෝජනා ගැන විමසීමේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 1952 වසරේ සිට ඔවුන් මෙම ඉල්ලීම ඉල්ලන බවයි.

එසේම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බෙහි බලය‍ බෙදීමකට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ඉදිරියේ පොරොන්දු වූයේ මහින්ද රාජපක්ෂ මහතා බවත්, තමන් ඒකීය රාජ්‍ය තුළ ගෙනෙනා දේශපාලන විසඳුමකට මිස අන් විසඳුමකට එකඟ නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලද බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉවත්කරන ලද්දේ සාම්පූර් කඳවුරක් පමණක් බවත්, එය ඉවත් කරන්නට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතා විසින් එය ඉවත්කරන බවට දෙමළ ජනයාට ලබාදී තිබුණු පොරොන්දුව නිසා බවත්ය.

සාම්පූර් ප්‍රදේශයේම වෙනත් ස්ථානයක එම කඳවුර ඉදිකරමින් පවතින බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවී ඇතැයි සන්ධානයේ පිරිස් විසින් නඟන චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී අග්‍රමාත්‍යවරයා කියා සිටියේ සන්ධානයේ නායකයා මෙන්ම රටේ ආරක්ෂක අමාත්‍යවරයා හා සේනාධිනායකයා වන්නේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැවින් පළමුවෙන්ම ඒ පිළිබඳ ඔහුගෙන් විමසිය යුතුව තිබුණු බවයි.

සන්ධාන රැස්වීමේදීඋ හෝ ඒ පිළිබඳව නොවිමසා දේශපාලන වේදිකාවල කෑගසමින් යන්නේ දේශපාලන වාසි ලබාගැනීමේ පරමාර්ථයෙන් මිස එය සැබෑවක් නොවන බැවින් යයිද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්ථාපිත කරමින් විපක්ෂයේ පිරිස් කෙරෙහි පලිගැනීමේ ක්‍රියාමාර්ග දියත්වී ඇතැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ විපක්ෂයේ පිරිස් කැඳවීමක් නොකළ බව හා සැකකරුවන් පමණක් කැඳවා ඇති බවයි.

එසේම ප්‍රධාන වශයෙන් චෝදනා එල්ලවී ඇති ප්‍රධාන සැකකරුවන් මෙතෙක් කැඳවා නොමැති බවත්, එසේ නොකැඳවන ලද අයගේ දිගු ලැයිස්තුවක් තමාට කියවිය හැකි බවත් පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා වංචාකාර ප්‍රධානීන්ට එරෙහිව සැබවින්ම පැමිණිලි ලැබී නොමැති බව සඳහන් කළේය.

මේ ආණ්ඩුවේ කිසිවෙකු ගැන වුවද පැමිණිලි ලැබුණහොත් ඒ පිළිබඳ විමර්ශනය කරන බවත්, ඉදිරි පාර්ලිමේන්තුව රැස්වූ පසු පාර්ලිමේන්තු පනතක් මගින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නිසි බලතල පවරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

හම්බන්තොට වරාය මුලින්ම යෝජනා කරනු ලැබුවේ තමන් විසින් බවත්, ඒ මේ සා විශාල ගොඩනැඟිලි සහිතව නොව ක්‍රමානුකූලව තෙල් පිරිපහදුවක් හා තාප විදුලිබලාගාරයක් සහිතව බවත්,  ඒ දෙක ඉවත් කර විශාල ගොඩනැඟිලි සහිතව කොළඹ වරාය හා තරඟ කරන්නට විශාල වරායක් ඉදිකිරීම නිසා එය සුදු අලියෙක් බවට පත්වූ බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මේවන විට මත්තල ගුවන්තොටුපළද තාවකාලිකව වී ගබඩා කර ඇති බවත්, හැමදාම එලෙස කරන්නට නොහැකි බවත් ඉදිරියේදී ආහාර නිෂ්පාදන ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස එය ගොඩනඟන බවත් ඔහු කියා සිටියේය.

ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය විය හැකි එජනිසයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබේදැයි ඇසූ පැනයට අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දැනට ඇත්කේ ශ්‍රීලනිප හා සන්ධානය අතර භේදයක් පමණක් බවයි.

ශ්‍රීලනිපයේ ප්‍රධානියා මෙන්ම සන්ධානයේ ප්‍රධානියාද ජනාධිපතිවරයා බැවින් මැතිවරණයෙන් පසුව එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වාසියට විසඳෙනු ඇතැයි අගමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ඊළඟ පාර්ලිමේන්තුව තුළදී තමන් බලාපොරොත්තු වන්නේ කාරක සභා ක්‍රමය ඇති කිරීමට බවත්, ආණ්ඩුවේ යෝජනා පරීක්ෂා කිරීම, නීති කෙටුම්පත් සම්බන්ධයෙන් වාර්තා කිරීම, තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න සොයා බැලීම, සෑම පක්ෂයකින් සභාපතිවරු පත්කිරීමට, එවිට පාර්ලිමේන්තුවය ආණ්ඩුවේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවත්, මේ වන විට කිසිදු පුද්ගලයෙකු ආණ්ඩුවේ යෝජනා සාකච්ඡා නොකරන බවද මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්කළ  යුතු බවද  අගමැතිවරයා එම අවස්ථාවේදී කියා සිටියේය.

එසේම මෙම සම්මුතිකවාදී තීරණය ජනවාරී 8 වන දින පෙරට ගත් තීරණයක් බවත්, මෙරට මූලික ප්‍රතිපත්ති කාලයෙන් කාලයට වෙනස් නොවිය යුතු  බවත්, විදේශ ආයෝජකයින් ඉල්ලා සිටිනුයේ එපමණක් බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.