28032024Thu
Last update:Mon, 04 Mar 2024

මධ්‍යම අධිවේගයේ වැඩ අගමැති අතින් ඇරැඹේ

03082015 130830670190811296 sjg cmy මාස හැටකින් අලුත් රටක් හදන එක්සත් ජාතික පෙරමුණේ පංච විධ ක්‍රියාවලියේ ‍එක් පියවරක් ව‍ශයෙන් රුපියල් බිලියන පන්සිය හතළිහක වියදමින් ඉඳි කෙරෙන කිලෝමීටර් 178ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත පුවක්වැ‍ටියේදී ඊයේ (03) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

සංවර්ධනයේ නව යුගයක් උදා කරමින් රට මැදින් මධ්‍යම පළාතට ගමන් කරන මධ්‍යම අධිවේගී මාර්ගය ඉඳිකිරීම සඳහා කලින් ඇස්තමේන්තු කර තිබූ මුදලට වඩා සියයට පනහක් අඩු වියදමකින් චීනයේ මෙට්රෝජිකල් සමාගම විසින් අධිවේගී මාර්ගය ඉඳි කිරීමේ කටයුතු සිදු කරනු ලබයි. මාර්ගය ඉඳි කිරීමේ පළමු අදියර වන කිලෝමීර් 37ක් වූ කඩවත සිට මීරීගම දක්වා මාර්ගය කඩවත සිට කොස්සින්න දක්වාත් කොස්සින්න සිට මීරිගම දක්වාත් පළමුවෙන්ම ඉඳි කෙරේ.

මීරිගම සිට ‍කුරුණෑගල දක්වා කිලෝමීටර් 39.7ක කොටස, මීරිගම සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර් 9.3ක කොටස , පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමිටර් 32.5 ක්වූ කොටස,කුරුණෑගල සිට රිදීගම දක්වා කිලෝමීර් 12.5 ක්වූ කොටස, රිදීගම සිට මැල්සිරිපුර දක්වා කිලෝමීටර් 18.9 ක්වූ කොටස, මැල්සිරිපුර සිට ගලේවෙල දක්වා කිලෝමීටර් 16.2 ක්වූ කොටස සහ ගලේවෙල සිට දඹුල්ල දක්වා වු කිලෝමීටර් 12.7 ක්වූ කොටස වශයෙන් අධිවේගී මාර්ගයේ ඉඳි කිරීම් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

උපරිම ඵලදායිතාවකින් යුතු අධිවේගී මාර්ගයක් වශයෙන් කොළඹ - නුවර මාර්ගයේ සහ අඹේපුස්ස – කුරුණෑගල - ත්‍රිකුණාමලය මාර්ගයේ පවතින මාර්ග තදබදය අවම කිරීම මධ්‍යම අධිවේගී මාර්ගය ඉඳි කිරීමෙන් බලාපොරොත්තු වේ.

යෝජිත මාර්ග පථය දෙපස ආර්ථික සහ සාමාජීය සංවර්ධනය, සංචාරක කර්මාන්තයේ වර්ධනය, දේශිය ව්‍යාපාරික ප්‍රජාවගේ හා අපනයන කෘෂිකර්මාන්තයේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම, උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය සඳහා මාර්ග ජාලය පුළුල් කිරිම , කෘෂි ආර්ථිකය හා බැඳුණු දඹුල්ල හා අවට ප්‍රදේශවල ආර්ථික හා සමාජයීය සංවර්ධනය, අයෝජකයන්ට ආයෝජන අවස්ථා සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල්විම යන සංවර්ධන ක්‍රියාවලියෙන්ද අධිවේගී මාර්ගය ඉඳි කිරීමෙන් ළඟා වීම ඉලක්ක කෙරේ.

මේ ව්‍යාපෘතිය සඳහා දැනට ක්‍රියාත්මක වන සති 72 ක ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරවී විශේෂ වැඩපිළිවෙළක් ‍යටතේ සති 39ක්වැනි කාලයක් තුළ දී මෑතකදී අනුමත වූ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කෙරෙනු ඇත.

අධිවේගි මාර්ගය ඉඳි කිරීමේදී බලපෑමට ලක්වෙන සියලුම දේපොළ සඳහා වෙළෙඳපොළ වටිනාකම අනුව අදාළ පාර්ශ්වයන්වලට වන්දි ලබා දීම සිදු කෙරේ. මෙහිදි එම පාර්ශ්වයන්ගේ අදහ‍ස් සහ යෝජනා සැලකිල්ලට ගෙන අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙනු ඇත.

අධිවේගී මාර්ගයට මුල්ගල් තැබීමේ අවස්ථාවට මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම්, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රිය පාලනය පිළිබඳ ඇමැති කරූ ජයසුරිය, මුදල් ඇමැති රවී කරුණානායක , වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නි‍යෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, චීනයේ මෙට්රොජිකල් සමාගමේ නියෝජිතවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.