28032024Thu
Last update:Mon, 04 Mar 2024

යහපාලනයට උචිත යහපත් ව්‍යවස්ථාදායකයක් පත් කරගනීම අපේ අරමුණයි - රතන හිමි

athuraliye himiවකුගඩු රෝගය රජරට ඇතුළු වියළි කලාපය තුළ බෝවන රෝගයක් ආකාරයට ශීඝ්‍රයෙන් පැතිර යනවා. මේ සඳහා හේතුව පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ අධික විෂ සහිත කෘතිම පොහොර සහ වල් නාශක භාවිතා කිරීමට උඩ ගෙඩි දීමයි. එදා රජය සිටියේ ගොවියාගේ පැත්තේනොවේ. බහුජාතික සමාගම් සමඟ සිට ගනිමින් ඔවුනිගේ තැරව්කාරයෙක් ලෙස කටයුතු කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වකුගඩු රෝගය සම්බන්ධව ලබා දුන් නිර්දෙශ පවා ක්‍රියාත්මක නොකිරීමට තරම් එදා පාලකයින් අදූරදර්ශි වුණා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලීයේ රතන ස්වාමින් වහන්සේ සඳහන් කළහ. උන් වහන්සේ මෙසේ පැවසුවේ පසුගිය 17 වනදා අනුරාධපුර රජරට හෝටල් ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි. මෙවර මහමැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රීක්කයට එක්සත් ජාතික පෙරමුණෙන් අමාත්‍ය පාටලී චම්පික මහතාගේ පාර්ශවයෙන් තරඟ වදින අමිල් ප්‍රියන්ත මහතාට සහය පළකරමින් මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණි.

ඉන්දියාවේ ගෞරවාන්විත වෛද්‍ය ශාස්ත්‍රඥයෙකු ලෙස සැලකෙන සිද්ධාර්ත්නම් වු වෛද්‍ය ප්‍රවීණයෙකු මෙරට වකුගඩු රෝගය මුළුමනින්ම පිටුදැකිය හැකි ආකාරයේ ප්‍රතිකාර වේදයක් උපයෝගී කර ‍ගෙන අපේ වකුගඩු රෝගීන් සුවපත් කිරීමට ඉදිරිපත් වී සිටිනවා. එතුමාගේ වෛද්‍ය ශාස්ත්‍රය අනුව සතිපතා ශරීරයේ ලේ පිරිසිදු කිරිම නොහොත් ඩයලයිසිස් ක්‍රමවේදය තවදුරටත් අවශය නොවනු ඇති . දැනටමත් මාරන්තික වකුගඩු රෝග වලට ලක්ව සිටි රෝගීන් පිරිසක් එතුමාගේ ප්‍රතිකාර නිසා සුව පත් වී සිටිනවා. ඉදිරි කාලයේදි එම වෙදැදුරු තුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඇතුළු වකුගඩු රෝගින් බහුලව සිටින ග්‍රාමීය ප්‍රදේශ වල වෛද්‍ය සායන මාලාවක් පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. ඉදිරි සතියේ සිද්ධාර්ත් වෛද්‍ය ආචාර්ය තුමා පැමිණීමට නියමිතය. අප විසින් ඉදිරියේදී බිහි කරනු ලබන නව රජය යටතේ තවදුරටත් අපේ ගොවිජනතාවට විෂ සහිත බාල කෘතිම පොහාර සහනාධාරය ලබා දීමක් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට රජය කෘතිම පොහොර සඳහා වාර්ෂිකව වැය කරනු ලබන අති විශාල මුදල ගොවිජනතාවටම ලබා දීමට බලාපොරොත්තු වෙනවා. රතන හිමියො වැඩිදුරටත් සඳහන් කළහ.

රටේ ආර්ථිකය පිළිබඳ නිවැරදි දිශානතියක් සකස් කර ගත යුතුව ඇතැයි උන් වහන්සේ පැවසුහ. ඉදිරියේදී පාලකයින්ට හිතෙන හිතෙන විදිහට අත්තනෝමතික ජාතික ප්‍රතිපත්ති සෑදීමක්සිදු නොවන්නේ යැයිද අවධාරණය කළ රතන හිමිපාණෝ ඒ සඳහා 1950දී ආරමභ වී මේ වන විටත් ඉන්දියාවේ ක්‍රියාත්මක වන ජාතික සැලසුම් කොමිසම අකෘතියේ ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත ජාතික ප්‍රතිපත්ති කොමිසමක් පිහිටවනු ඇතියිද අනවාරණය කළහ. ඒ අනුව මෙරට ඉංජිනේරුවරුන්,වෛද්‍යවරුන්, අධ්‍යාපනඥයින් කෘෂිකර්ම විශාරදයින් ,පරිසර වේදීන් , ඇතුළු සමාජයේ විවිධ තල වල විද්වතුන් නියෝජනය වන පරිදි උත්තරීතර ප්‍රතිපත්ති කොමිෂන් සභාව බිහි කෙරෙනු ඇත. මේ තුළින් ඉදිරියේදී හුදු පටු දේශපාලන පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අවස්ථාව මෙරට දේශපාලඥයින්ට අහිමි වනු ඇතැයිද උන් වහන්සේ පෙන්වා දුන්හ. මෙම ජාතික ප්‍රතිපත්ති කොමිසම මගින් නව එක්සත් ජාතික පෙරමුණු රජය බිහි වු විගස පසු අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එම කොමිසම මගින් විසි අවුරුද්දකට බල පවත්නා සංවර්ධන ක්‍රියාදාමයක් නිර්දේශ කරනු ඇතැයිද පෙන්වා දුන් රතන හිමියෝ කුමන ආණ්ඩුවක් මෙම කාලය තුළ බලයට පත් වුවත් මෙම ජාතික ප්‍රතිපත්ති වෙනස්කිරීමට ඉඩ නොලැබෙන බවද ප්‍රකාශ කළහ.

අප අද සිටිනනේ තීරණාත්මක මහා මැතිවරණයක් පා මුලයි. රටේ ජනතාව වෙන කවරදාකටත් වඩා බුද්ධිමත්ව මෙවර සිය ඡන්දය පාවිච්චි කරනු ඇතැයි අප විශ්වාස කරනවා. පසුගිය ජනවාරී 08 වනදා අපේ උත්සහයෙන් පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා වශයෙන් ඔසවා තිබුවා. අද අපි යන්නේ ඒ ආකාරයටම ඉතා ශක්තිමත් මහජනතාවට සියලු ආකාරයෙන් වග කියන ව්‍යවස්ථාදායකයක් බිහි කර ගැනීමටයි. මේ සඳහා එක්සත් ජාතික පෙරමුණ හදාගත්තා. එක්සත් ජාතික පක්ෂය යටතේ අපි තරඟ කරනවා. ශ්‍රී ලංකාව තුළ බලය රුදී පවතින්නේ ප්‍රධාන පක්ෂ ධාරා 02 ක් මතයිත ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානය තුළින් අපේ අරමුණු කරා යාමට මහින්ද රාජපක්ෂ මහතා යටතේ ගෙනගිය සටනින් යහපත් ප්‍රතිඵලයක් අත් කර ගැනීමට නොහැකි වු නිසා අප විසින් සියලු ජාති හිතෛයිසි පාර්ශවයන් එකට ගොනු කොට මෙවර එක්සත් ජාතික පෙරමුණ බිහි කරගෙන තිබෙනවා. එම නිසා අනුරාධපුර දිස්ත්‍රීක්කයට තරඟ කරන වරලත් ඉංජිනේරුවරයෙකු වන තලාව ගම්මානයෙන් බිහි වු අමිල් ප්‍රියන්න වැනි තරුණ නායකයින් ව්‍යවස්ථාදායකයට පත් කර යැවීමේ යුතුකම හා වගකීම රජරට ජනතාව සතුයි පුජ්‍ය අතුරලීයේ රතත හිමියෝ පෙන්වා දුන්හ. මෙම මාධ්‍ය හමුවේදී අමිල් ප්‍රියන්ත මහතාද අදහස් දැක්වීය. සුරංග කාරියවසම් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.