25042024Thu
Last update:Thu, 18 Apr 2024

ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජාත්‍යන්තර පුහුණු අවස්ථා වැඩිකර ලබා දෙනවා - ජනපති මෛත්‍රී කියයි

12072015 130811634614842527 sksයුද නාවික, ගුවන් සහ පොලිස් සේවයේ සාමාජිකයින්ට තම දැනුම වැඩිදියුණු කරගැනීමට පසුගිය කාලයට වඩා ජාත්‍යන්තර පුහුණු අවස්ථා උදාකර දීමට ඉදිරියේ දී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 තමා පසුගිය මාස 06 තුළ කළ විදේශ සංචාරවලදී මෙන්ම මෙරටට පැමිණි රාජ්‍ය නායකයන් සමඟ පැවැති සාකච්ඡාවලදී කළ ඉල්ලීම් සහ ඔවුන් දැක් වූ ප්‍රතිචාර අනුව ඒ සඳහා පුළුල් අවස්ථා රැසක් ඉදිරියේ දී උදාවනු ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පස්වරුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

ගුවන් හමුදා කඳවුරට පැමිණි ජනාධිපතිතුමා විශේෂ හමුදා උත්තමාචාර පිළිගන්වමින් මහත් අභිමානවත් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගුවන් හමුදා නිලධාරීන් සහ ‍ සෙසු නිලයන්ගෙන් සමන්විත 3000ක පමණ පිරිස අමතනු ලැබීය. මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වගකීම් ඉටුකළ වීරෝදාර රණවිරුවන් පිළිබඳ ඇති ගෞරවය හා පිළිගැනීම නව රජය ලෙස තව තවත් ශක්තිමත් කිරීම අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ඉටු කළ සියලු සුබසාධන සේවා ඉටු කිරීමට රජය කටයුතු කරන බව ද පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උත්තමාචාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගඟන බුලත්සිංහල මහතා විසින් විශේෂ සමරු තිළිණයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කඳවුර පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීම ද සිදුවිය.

ආරක්ෂක ලේකම් බී. එම්.යූ.ඩී. බස්නායක මහතා සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්වී සිටියහ.