29032024Fri
Last update:Mon, 04 Mar 2024

ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පෙර රජයට වඩා සූක්ෂමයි

mahinda samarasinghaවර්තමාන රජයේ විදේශ ප්‍රතිපත්තිය කලින් රජයට වඩා සූක්ෂම අන්දමින් ක්‍රියාත්මක කිරීමට හැකිවීම හේතුකොටගෙන මාර්තු මාසයේ ගෙන ඒමට තිබූ මානව හිමිකම් වාර්තාව ලබන සැප්තැම්බර් තෙක් කල් ලබා ගැනීමට හැකිවීම නිසා ආර්ථික සම්බාධක පැනවීම නතර කර ගැනීමට හැකි විනැයි මුදල් රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි .

ලබන සැප්තැම්බර්වලදී මානව හිමිකම් සමුළුවට යන විට අප පෙන්වා දිය යුතුයි සංහිඳියාවට යන ගමනේදී කොතරම් දුරක් අපි ඉදිරියට ‍ගොස් තිබෙනවාද කියලා. මේ රජය ලබා ගත්තු ලොකුම ජයග්‍රහණය තමයි සූක්ෂම අන්දමින් විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

අපගේ රටට විරුද්ධව ගෙන ආ යෝජනාව ගෙන එන්න මුල්වුණේ අමෙරිකාවයි. නමුත් අපගේ පසුගිය රජය කළේ අමෙරිකාව සමඟ හැප්පීමයි. නමුත් වර්තමාන රජය මෙම තත්ත්වය මැනවින් තේරුම් අරන් තිබෙනවා. ලෝකයේ බලවත් රටක් සමඟ පුංචි රටක් හැප්පෙන්නේ කොහොමද? ඒ නිසා රටට අවශ්‍ය විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න වර්තමාන රජය සිතට ගත යුතු යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

පසුගිය රජය තෝරා ගත් රටවල් කීපයක් සමඟ පමණයි ගනුදෙනු කළේ. මේ රජය සියලුදෙනා සමඟ මිත්‍රත්වයක් ඇති කර ගන්නවා කියන පණිවුඩය ලෝකයට ලබාදීමට වර්තමාන රජය කටයුතු කළ බව ද හෙතෙම පැවැසීය.

2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වුණත් 2015 වෙනකම් කාලයක් අපට මානව හිමිකම් සමුළුව අවස්ථාව සලසා දී තිබුනා. මෙම කාල සීමාවෙන් උපරිම ප්‍රයෝජනයක් පසුගිය රජය ලබා නොගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මානව හිමිකම් වාර්තාව ඉදිරිපත් කළාට පසුව දේශීය යාන්ත්‍රණයක් රජය ක්‍රියාත්මක කරන බව පැවසු අමාත්‍යවරයා එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රජය කළ යුතු දේවල් එමගින් නිර්දේශ කරන බවද සඳහන් කළේය.