19042024Fri
Last update:Thu, 18 Apr 2024

ආහාර නිෂ්පාදනයට ජාතික වැඩපිළිවෙළක්

Cabinetජාතික ආහාර නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය මර්දනය, ස්වභාවික සම්පත් රැකීම සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) උපදෙස් ලබාදී ඇත.

ජනාධිපතිතුමා ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ දී මෙම ජාතික වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කරන ලදී. මෙහිදී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා දේශීය ආහාර නිෂ්පාදනයට වඩාත් ප්‍රමුඛතාව ලබාදීම සඳහා වන නව වැඩසටහනක් හදුන්වාදීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

ඒ අනුව එළැඹි තීරණය අනුව ඉදිරි සතිය තුළ දී දැනට පිටරටින් ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍යයන් ප්‍රමාණයන් සහ ඒ සඳහා දැනට වැයකෙරෙන මුදල් ප්‍රමාණයන් ඉදිරිපත් කිරීමට එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනාධිපතිතුමන් විසින් උපදෙස් දෙන ලදී.

ඉදිරි මාස් කන්නයේ දී ආහාර වැඩසටහන් ආරම්භ කෙරෙන අතර බීජ පැළ වර්ග සහ අදාළ කරුණු පිළිබඳ ප්‍රචාරාත්මක වැඩසටහන් මගින් ගොවිජනතාව දැනුවත් කිරීම ආදී කටයුතු විධිමත්ව සිදුකළ යුතු ආකාරය ද සාකච්ඡා කරන ලදී.

එමෙන්ම මත් ද්‍රව්‍ය මර්දනය සඳහා වන ඒකාබද්ධ ජාතික වැඩසටහන පිළිබඳද සාකච්ඡාවට බදුන් විය. ජාතික ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා සියලු අංශ ඒකාබද්ධව පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ද මත්ද්‍රව්‍ය පාලනය, වැළැක්වීම සහ මර්දනය සම්බන්ධයෙන් දැඩි නීති රීති ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ද සාකච්ඡා කරනු ලැබීය.

ජනාධිපතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර පැවති මෙම හමුවේ දී ස්වාභාවික සම්පත් රැකගැනීම සඳහා වූ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර සියලු අංශ සම්බන්ධීකරණය කර ජනාධිපති ලේකම් කාර්යාලය හරහා පරිසර සංරක්ෂණය සඳහා පුළුල් ජාතික වැඩසටහනක් ඇරඹීමට කටයුතු යොදන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය.

මේ වනවිට කැළිකසල සංරක්ෂණ වැඩසටහන් ආරම්භ කර ඇතත් එවා ක්‍රියාත්මක නොවන අවස්ථා ඇති බැවින් ස්වාභාවික සම්පත් ආරක්ෂා කරගැනීමේ වගකීම් ජනතාවට අවධාරණය වනසේ ජාතික වැඩසටහන සකස් කිරීමට අවශ්‍ය කරුණු පිළිබඳවද සාකච්ඡා කළේය.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු මැදිහත්වීම හා උපදෙස් මත ජාතික ආහාර නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය මර්දනය, ස්වභාවික සම්පත් රැකීම සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට සියලු අමාත්‍යාංශවල සහයෝගය හා සම්බන්ධීකරණය මත එකඟතාවකට පත්වූහ. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්. එස්.බී. ඒකනායක යන මහත්වරුන් ඇතුළු සියලු අමාත්‍යාංශ ලේකම්වරු සහභාගි වූහ.