19042024Fri
Last update:Thu, 18 Apr 2024

වත්මන් රජය යාපනයේ යුද හමුදා කඳවුරු ඉවත් කර නැහැ

army flag 201410022015 වසර ආරම්භයේ සිට මේ දක්වා යාපනයේ කිසිම යුද හමුදා කඳවුරක් වර්තමාන රජය මඟින් ඉවත් කර නොගත් බව පවසන යුද්ධ හමුදා මූලස්ථානය පසුගිය වසර හය තුළ එසේ ඉවත් කර ගත් කඳවුරු ප්‍රමාණය සහ වසර පිළිබඳ වාර්තාවක් ද ඉදිරිපත් කර සිටියි.

ඒ අනුව 2009 වසරේ ඉවත් කළ කඳවුරු ප්‍රමාණය 07කි. 2010 වසරේ කඳවුරු 09ක් වූ අතර 2011 04, 2013 - 15 සහ 2014 කඳවුරු 24ක් මෙසේ ඉවත් කරගෙන තිබේ. ඒ අනුව එම කඳවුරු ප්‍රමාණය 59ක් වෙයි.

2012 වසරේදී කිසිදු කඳවුරක් ඉවත් කරගෙන නැත. තවද කඳවුරු වශයෙන් හැඳින්වුවත් මේවා විශාල හමුදා භට පිරිසක් සිටින කඳවුරු නොව  සාමාන්‍ය සුළු පිරිසක් සිටින කුඩා ප්‍රමාණයේ ඒවා වෙයි. සාමාන්‍යයෙන් ආරක්ෂක තත්ත්වය බලා ඒ අනුව ලංකාව පමණක් නොව විදෙස් රටවල් ද කඳවුරු ඉවත් කර ගැනීම විවිධ හේතු මත සිදු කරන බව යුද්ධ හමුදා මූලස්ථානය පවසයි.

කෙසේ වුවද 2015 වසරේදී එවැනි කුඩා කඳවුරක් හෝ ඉවත් කර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු නොකළ බව පවසන යුද්ධ හමුදා මූලස්ථානය උතුරේ ආරක්ෂක තත්ත්වය කිසිදු ගැටලුවක් නොමැතිව ඉතාමත් හොඳ තත්ත්වයකින් පවතින බව පවසයි.

තවද මෙහිදී යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයවීර මහතා ප්‍රකාශ කළේ උතුරේ යාපනය ඇතුළු සෙසු සියලු ප්‍රදේශවල නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන බවයි. එම සෝදිසි මෙහෙයුම්වලදී පසුගිය ත්‍රස්තවාදී සමයේ දි පාවිච්චි කළ පුද්ගල නාශක ඇතුළු සුළු අවි ආයුධ සොයා ගැනීමට හැකිවූ බවද ඒවා ආරක්ෂක තත්ත්ව වාර්තා හරහා හෙළිදක්වා ඇති බවද කීය. තවද උතුරු ප්‍රදේශයේ පමණක් නොව නැඟෙනහිර ප්‍රදේශයේද ආරක්ෂාව සම්බන්ධව යුද්ධ හමුදාව නිරතුරුවම අවධානය යොමු කරන ක්‍රියා කරන බැවින් කිසිසේත් යළි එම ප්‍රදේශවල ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇතිවීමට ඉඩ නොතබන බවද තහවුරු කරයි.