23042024Tue
Last update:Thu, 18 Apr 2024

ශ්‍රීලනිපය හා අනෙක් පක්ෂ එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක්

P. Ajith. Pereraඑළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව පොදු එකඟතාවකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කරයි.

එය රටේ යහපත වෙනුවෙන් ගත් තීරණයක් වන අතර එවැන්නත් වෙනුවෙන් තම පක්ෂයේ එකඟතාව ලැබී තිබෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එ මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 225 සඳහා එක්සත් ජාතික පක්ෂයේ එකඟතාව තිබෙන බවත් එළඹෙන 2020 වසරේ දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය නව ක්‍රමයට අනුව පැවැත්වීමට හැකි බවත්ය.

නව මැතිවරණ ක්‍රමය සංශෝධන ඇතුළත් කරමින් සම්මත කර ගත්ත ද ජනතාව අනුමත නොකරන්නේ නම් ගැටලු ඇතිවන බව පෙන්වා දෙන ඒ මහතා අද වනවිට තීරණාත්මක අවස්ථාවක් උදාවී තිබෙන බවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුව නව මැතිවරණ ක්‍රමයක් කරා යොමු වෙමින් මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට එකඟතාව පළකර තිබෙන බව පැවසීය.

එසේ නව මැතිවරණ ක්‍රමයට එකඟ වුවද ඕනෑම කෙටුම්පතක් වෙනුවෙන් එකඟ නොවන අතර රටේ සහ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් හැමවිටම පෙනී සිටින බවද පසුගිය ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය හා තවත් සංවිධාන 45ක් සමඟ විහාරමහදේවී උද්‍යානයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු එකඟතාවකට පැමිණි බවදසඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා අද දක්වා ජනාධීපතිවරයාගේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවද පෙන්වා දුන්නේය.

මේ අතර ඒ මහතා පැවසූවේ රටේ ජනතාවට සාපේක්ෂව පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවන් නියෝජනය කරන ජනතා නියෝජිතයන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා බවත් පාර්ලිමේන්තුවේ පවතින ආසන 225 ආරක්ෂා කරමින් නව මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ හැකි බවත්ය. මැතිවරණ කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව පැවසූ ඒ මහතා පාර්ලිමේන්තුවේ ආසන 237 ට අදාළ කෙටුම්පත කිසිවෙකු දැක නොමැති බවද ගණිතමය සූත්‍රයකට අනුව මන්ත්‍රී ආසන සංඛ්‍යාව සැකසෙන බවද සදහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අදාළ කෙටුම්පත අවුල් සහගත තත්ත්වයක තිබෙන බව පෙන්වා දුන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ඒ සඳහා ඊළඟ පාර්ලිමේන්තුව මීට වඩා ශක්තිමත් කළ යුතු බවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 40ක් අතැතිව ආණ්ඩුව ගෙන යාම අපහසු කාර්යයක් බවද පැවසීය. මේ තත්ත්වය තුළ නව මැතිවරණ සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබාගැනීම අපහසු කටයුත්තක් බවද මැතිවරණයක් අවශ්‍ය වන්නේ ඒ හේතුවෙන් බවද ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කොට පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය පවරන සංශෝධනයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කළ ඒ මහතා මේ වනවිට අගමැතිවරයට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ සූදානමින් සිටින බවද කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභාංගය සඳහා අත්සන් කිරීමෙන් විපක්ෂ නායකවරයා විසින් ජනාධිපතිවරයා සමඟ ඇතිකරගත් එකඟතාවන් බිඳ දමා තිබෙන අතර ජනාධිපතිවරයා ද ඉවත් කළයුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධණ මහතා ප්‍රකාශ කරන බවද ඒ මහතා කීවේය.