28032024Thu
Last update:Mon, 04 Mar 2024

විදේශගත ඩයස්පෝරාව දිනා ගැනීම ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීමට රුකුලක්

mangala samaraweera1විදෙස් ගත ඩයස්පෝරාව දිනාගැනීම ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීමට රුකුලක් වන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ජාතියේ එක්සත්භාවය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙමින්, ජනවර්ග හා ආගම් විවිධත්වයන් නොසළකා හැර අපගේ ප්‍රතිසංධාන ප්‍රයත්න, ධාරිතා ගොඩනැංවීම, ජනතාවගේ සංවර්ධනය සහ සුබසාධනය සඳහා සහායවීමට කැපවන සියලු ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සාදරයෙන් පිළිගැනීම වත්මන් රජයේ ඉලක්කය වී තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ,

ත්‍රස්තවාදය නිමාවට පත්ව තිබෙන අවස්ථාවක සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදායේ හා පුරවැසිභාවයේ ඵල සාධාරණව බෙදාහදා ගැනීමට හැකිවන පරිදි දුක් දුරුකරගෙන, තිරසාර සාමය උදාකර ගනිමින් ආරක්ෂාව සළසා ගතයුතු කාලය හා වාතාවරණය උදාවී තිබෙන බවත් සන්නද්ධ ගැටුම් නිමාවට පත්කිරීමෙන් ලද සාර්ථක ප්‍රතිඵල ප්‍රයෝජනයට ගතයුතු වන්නේ වෙනත් මාර්ගවලින් තවදුරටත් ගැටුම් ඇති නොවන ආකාරයේ සමස්ථ දේශපාලන ක්‍රියාදාමය උපයෝගී කරගත හැකි ආකාරයෙන් බවත්ය.

ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේදවල දී මෙරට ජනතාව රටහැර ගිය අතර සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් සියලුම ජනවර්ග හා ආගම්වලට අයත් පිරිස ඒ අතර වූ බව සිහිපත් කරන මංගල සමරවීර මහතා විදේශගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමන්විත වන්නේ ඔවුන්ගෙන් බවද අද වනවිට ශ්‍රී ලාංකික ඩයස්පෝරාව මිලියන එකහමාරක් පමණ වන බවද කියා සිටී.

මේ පිරිස ඒ ඒ රටවල වෙහෙස වී වැඩකරන, දක්ෂ වගකීම් දරන පුද්ගලයන් වන අතර ඉතා දක්ෂ මෙන්ම ක්‍රීඩා, කලා, සංගීත, සාහිත්‍යය, නාට්‍ය, වෛද්‍ය, විද්‍යා හා අනෙකුත් ක්ෂේත්‍රයන්ගෙන් නිපුණත්වයට පැමිණි පිරිස් බවද ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට අයත් සෑම තු‍න් දෙනෙකුගෙන් එක් අයෙකුම උගත් වෘත්තිකයන් බවද හෙතෙම පෙන්වා දෙයි.

විදේශීය දෙමළ ජන කොටස් තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් සමඟ සාකච්ඡා කිරීම වැදගත් බව උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මඟින් නිර්දේශ කොට ඇති බව පෙන්වාදෙන විදේශ කටයුතු ඇමතිවරයා ශ්‍රී ලාංකික ජාතියක් පිළිබඳව අවධානය යොමු කරන වකවානුවක දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරමින් එම ජනතාව ආකර්ෂණය කර ගැනීම ඉතාම වැදගත් බවද දෙමළ ජනතාවට සිදුවූ විවිධ තාඩන පීඩන හමුවේ ඔවුන් වෙසෙන රටවල දී දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව බලපෑමක් ඇති කිරීමට සමත් වූ පිරිසක් වන හෙයින් ඔවුන්ගේ සහයෝගය යළි ලබා ගැනීමට හැකිවීම වැදගත් බවද කියාසිටී.

අනාගතයේ දී තම දේශපාලන උවමනාවන් දිනා ගැනීමට ප්‍රචණ්ඩත්වය පවා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් පොදු ප්‍රතිඥාවක් දීමට කැමැත්ත පළ කොට ඇති බවද එසේම එම පිරිසගේ ඥානය, දක්ෂතා, සහ නිපුණතා ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අවස්ථාව උදාවන බවද මංගල සමරවීර මහතා සඳහන් කරයි.