01122022Thu
Last update:Mon, 21 Nov 2022

අපේ ඉඩම් අපට ලැබුණා

14062015 130787465901929758 fbb cmyදා යාපනය අර්ධද්වීපය හරහා හමා ගියේ පලාලි දෙසින් එන යුදබිමෙන් පැමිණි ගිනිගත් සුළඟය. ජන හදවත්වල එදා තිබුණේ සැක සංකාය බිය මුසු හැඟීම්ය. ඒ මිනිස්සුන්ට හෙටක් ගැන කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැත. යුද්ධය නිමා වූ පසු කොළඹ අපට මරණය පිළිබඳවත් යුද්ධය පිළිබඳවත් සිත් තුළ තිබූ හැඟීම් පහව ගියද යාපනය ජනතාව තුළ එම සැකමුසු හා බියමුසු හැඟීම් පහව ගියේ නැත.

එහෙත් වර්තමානයේ ඇතිව ඇති සහනශීලී දේශපාලන වාතාවරණය යටතේ යාපනේ ජනතාව තුළ නැවුම් හැඟීම් නැවුම් බලාපොරොත්තු ඉහළ යමින් තිබේ. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පීඩනයත් ආර්ථික පීඩා ඇතුළු දකුණේ අප අත්විඳින කටුක අත්දැකීම් සියල්ලටම වාගේ යාපනයේ සහෝදර ජනතාවටද මුහුණදීමට සිදුවිය. යුද්ධයේ සෘජු පීඩනය නිසා මෙහි ජනතාවට සිදුවූයේ අන්ත අසරණ ලෙස තම ජීවිත ගත කරන්නටය. යාපනයේ නාගරිකයන්ට වඩා පලාලි වැනි දුර බැහැර පැරැණි යුද කලාපවල ජනතාව මෙහිදී දැඩි දුෂ්කරතාවට පත්වූහ.

ඔවුන්ට තමන්ගේ ගම්බිම් වෙහෙස වී ගොඩනඟා ගත් දේ පවා බිලිදීමට සිදුවූයේ යුද්ධය වෙනුවෙනි. යුද්ධය ඇතිවීමට පෙර මේ ප්‍ර‍ෙද්ශවල ගොවිතැනෙන් හා ධීවර කර්මාන්තයෙන් ජීවිත සරුකරගත් ඔවුනට යුද්ධයේ පීඩනය නිසා හිමිවූයේ මහමඟත් ඔවුනට හුරුපුරුදු නොවූ වෙනත් රැකියාවක් පමණි. යුද්ධයේ නිමාවත් සමඟ ඔවුනට යහපත් හෙටක් පිළිබඳව අපේක්ෂා පළ වූවද ඔවුන්ගේ ඒ අපේක්ෂා මල් ඵලගන්නට බොහෝ කල්ගත විය. “අපිට ඉඩම් නැහැ අපිට ගෙවල් නැහැ” ඔවුන් හැමදා නැඟූ අඳෝනාවයි. එහෙත් ඔවුන්ගේ මේ ඉල්ලීම් හා අඳෝනා උතුරෙත් දකුණෙත් දේශපාලනයේ පාපන්දුවක් වූවා මිස කිසිදු විසඳුමක් ජනතාව වෙත නොලැබුණි.

පලාලි අවට ජනතාවට හිමි ඉඩම් ගෙවල් නැවත පැවරීමට රජය කටයුතු කරන විට ‍ “මෙන්න හමුදා කඳවුරු ඉවත් කරනවා” යන අන්තවාදීන්ගේ චෝදනාව රජය වෙත එල්ල විය. එහෙත් හමුදාවේත් රජයේත් ඉලක්කගත අරමුණ වූයේ ‍මොවුන් වෙත සාධාරණය ඉටුකිරීමය. යුද්ධය නිමා වූ අවුරුදු හය තුළ යාපනය අර්ධද්වීපයේ අක්කර දහනවදහසක් යළිත් සිවිල් ජනතාව වෙත පවරා ඇති බව සමහරුනට අමතක වූ ගානය. 1990 දශකයේදී දකුණේ සිවිල් යුද තත්ත්වය තුළ හමුදාව අත්පත් කරගත් ඉඩම් යුද්ධය අවසන්වීමෙන් පසු සිවිල් ජනතාව වෙත හමුදාව විසින් නැවත ලබා දුන් අතර මෑතකදීම එවැන්නකට ඇති උදාහරණය වන්නේ කොළඹ ජනාධිපති මන්දිරය අවට අධිආරක්ෂිත කලාප බවට පත් කර තිබූ හා හමුදා පරිහරණය ලබා දුන් ‍ෙගාඩනැගිලි හා ඉඩම් යළිත් මුල් අයිතිකරුවන් වෙත ලබාදීමය.

මෙය උතුරේ කියා වෙනසක් විය යුතු නැත. අද උතුරේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර මුළුමනින්ම එහි සිවිල් පරිපාලනය ස්ථාපිත වී තිබේ. අප එම ප්‍රදේශවල කළ සංචාරයේදී දැකගන්නට තිබුණේ දකුණේ ප්‍රදේශයක ඇති සාමාන්‍ය වාතාවරණයයි. එමෙන්ම එහි වේගවත් සංවර්ධනයක් හා ආර්ථික වර්ධනයක්ද දක්නට ඇත.

යාපනය ආරක්ෂක සේවා මූලස්ථානය පිහිටි පලාලි ප්‍රදේශයේද සිවිල් ජනතාවට අයත් ඉඩම් අක්කර දොළොස්දහසක් පමණ මේ වනවිට මුල්හිමිකරුවන් වෙත ලබාදී තිබේ. ඒ ගැන අප කළ විමසීමකදී යාපනය ප්‍රදේශය භාර ආඥාපති නන්දන උඩවත්ත මහතා ප්‍රකාශ කළේ “අද උතුරු ප්‍රදේශය තුළ මෙන්ම යාපනය අර්ධද්වීපය පුරා තිබෙන්නේ ඉතාමත් සාමකාමී වාතාවරණයක්. යුද නිමාවෙන් පසු මේ වනතුරු කිසිදු සිදුවීමක් වාර්තා වුණේ නැහැ. අනෙක් ප්‍රදේශවල සිදුවන විදිහේ සාමාන්‍ය හොරකම් අපරාධ මෙහිත් වෙනවා. ඒත් ඒවාට ත්‍රස්තවාදීන්ගේ කිසිදු සබඳතාවක් නැහැ. මේ තත්ත්වය සලකා බලා තමයි අප ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ. “එතකොට පසුගිය දිනවල සිවිල් ජනතාව වෙත ඔවුන්ගේ ඉඩම් පැවරීම් සිදුකිරීම මේ ගැන ඇතැමුන් චෝදනා කරනවා නේද? අප ආඥාපතිවරයාගෙන් මේ දිනවල වඩාත්ම කතාබහට ලක් වූ ප්‍රශ්නය යොමු කළෙමු.

ජාතික ආරක්ෂාව පිළිබඳව තමයි අපි මූලිකව සලකා බලන්නේ. එහිදි අපට තහවුරු වෙනවා නම් අදාළ ඉඩම් නිදහස් කිරීම මඟින් ජාතික ආරක්ෂාවට ගැටලුවක් වෙන්නේ නැහැ කියලා, ඒ ගැන හිතල තමයි අප ඉඩම් නිදහස් කිරීම ගැන තීන්දු ගන්නේ. අප යුද හමුදා කඳවුරු ඉවත් කිරීම කරන්නෙත් ඒ අනුවයි. යුද හමුදාව හැම වෙලාවෙම යුදමය පැත්තෙන් බලා තමයි කටයුතු කරන්නේ. යුද හමුදා ආඥාපතිවරයාගේ අදහස එයයි. 2010 සිටම ඉඩම් නිදහස් කිරීම් කරලා තිබෙනවා.

මෙහි නැවත පදිංචි කිරීම්වල අද තත්ත්වය කුමක්ද? අපේ සිත් තුළ රැඳුණු තවත් පැනයක් හමුදා ප්‍රධානියා වෙත යොමු කළෙමු. “අපට ඉඩම් මුදාහැරීමෙන් එහා වගකීමක් නැහැ. ඉතිරිය ප්‍රාදේශීය ලේකම්වරු හරහා තමයි සිදුවන්නේ. මෙතැනදි මම දකින දේ තමයි ඉඩම් පැවරුවද ඒ ස්ථානවලට ජනතාව පැමිණීමට මැලිවීම. මම සිතන විදිහට ඔවුන් දිරිමත් කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය කරනවා. ඒක ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා රජයේ වගකීමක් විදිහටයි අප විශ්වාස කරන්නේ. ආරක්ෂක කඳවුරු ඉවත් කිරීම ඇතුළු කරුණු පිළිබඳවද මේ දිනවල ප්‍රබල කතාබහක් ඇතිවී තිබේ. අප ඒ ගැනද මේ ආඥාපතිවරයාගෙන් විමසීමක් කළෙමු. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිවලට අපට කෙළින්ම ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. ඒත් පොලිසියට අප උපරිම සහයෝගය ලබා දෙනවා.

එම කතා බහෙන් පසු මාධ්‍ය කණ්ඩායමට යාපනය භාර ආඥාපතිවරයා ඇරයුම් කළේ අලුතින් ජනතාව වෙත ලබා දෙන ලද ප්‍රදේශයේ සංචාරය කරන ලෙසය. පලාලි සිට කැලෑබද ප්‍රදේශ ගොවිබිම් පසු කරමින් පැමිණි අපට පසුගිය මාර්තු මාසයේදී යළි සිවිල් ජනතාවට ලබාදෙන ලද ප්‍රදේශවලදී එහි ජනතාව හමුවීමට අවස්ථාව උදාවිය. එහිදී අපට මුලින්ම මුණගැසුණේ සිරිමුත්තු රාජකන්තන් මහතාය. මේ ඔහුගේ කටහඬ.

“අපට මේ ඉඩම් යළි ලබා දුන්නේ මීට මාස කිහිපයකට පෙර ජනාධිපතිතුමා අතින්. මුලින්ම අප ඔහුට ස්තුතිය පළ කරනවා. අපි එදා හිතුවේ නැහැ මේ තැන්වලට ආයේ එන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපි අද මේ තැන්වලට ඇවිත් අලුතින් ජීවිතය පටන්ගෙන තිබෙනවා. ඒ ගැන අපට විශාල සතුටක් තිබෙනවා.

“එතකොට ඔබලා මේ ගම්බිම් අතහැර යද්දි කෙතරම් පිරිසක් සිටියාද?” අප රාජකාන්තන් වෙත තවත් ප්‍රශ්නයක් යොමු කළෙමු.

“එදා පවුල් දෙසිය පනහක් විතර හිටියා. ඒත් අද පවුල් විසිපහක් විතර තමයි ඉන්නේ. අපිට රජයෙන් වගේම වෙනත් සංවිධානවලින් විශාල ලෙස සහයෝගය ලැබෙනවා.

අප පැමිණ සිටින්නේ චලෙයි ප්‍රදේශය වන අතර එම ප්‍රදේශය තුළ දැන් දැන් අලුත් ඉදිකිරීම් හා ගොඩනැගිලි ගොඩනැඟෙමින් තිබේ. අපේ හිතවත් ඡායාරූප ශිල්පී රුක්මාල් මේ නව ඉදිකිරීම් තම කැමරා කාචයේ සටහන් කර ගැනීමට බලවත් උත්සාහයක නියැළෙන්නේ අනෙක් සගයන් සමග තරගයට මෙනි.

පලෙයි ප්‍ර‍ෙද්ශයේදීම අපට තවත් පිරිස් හමු වූ අතර ඔවුන්ද පළ කළේ රාජකාන්තන්ට සමාන අදහස්ය. ඒ අතරින් සමහරු පසුගිය කාලයේ සිදුවූ අලුත් දේශපාලන පරිවර්තනය ගැන කතා කිරීමට තරම් නිර්භය වූහ.

“යුද්ධය ඉවර වුණාට අපේ හිත්වල තිබුණු බය අඩුවුණේ නැහැ. එදා එක් එක් පැතිවලින් තර්ජන බලපෑම් ආවා. ඒත් අද අපිට යම් නිදහසක් තිබෙනවා.”

14062015 130787402831909758 fcj cmy 250x300අප වෙත එලෙස ප්‍රකාශ කළේ ‍මේරි රෝස් මහත්මියයි. ඇය කියන ආකාරයට ඔවුනට වෙනත් රටක් ගැන හෝ බෙදුම්වාදයක් ගැන අදහසක් නැත. ඇයගේ එකම ප්‍රාර්ථනය වී ඇත්තේ නිදහස් සාමකාමී පරිසරයක් තුළ අනාගත ජීවිතය ගත කිරීමය.

පලෙයි පසුකර කිලෝමීටරයක් හෝ දෙකක් ඉදිරියට ගිය විට අපට යළිත් දැකගැනීමට ලැබුණේ තවත් නැවත පදිංචි කිරීමේ භුමියකි. එහි දක්නට ලැබුණේ අප දුටු පැරැණි තැනට වඩා සංකීර්ණ බවක් හා ජනාකීර්ණ බවකි. එහි ලහි ලහියේ නිවාස හා වෙනත් ඉදිකිරීම් සිදුවෙමින් තිබුණි.

ඒ ස්ථානයේදී අප හා කතාබහට එක්වූ පෙදරේරුවරයකු වන ශෂිදරන් රාජමුත්තු ප්‍රකාශ කළේ අද වනවිට ඔවුන්ගේ රැකියා තත්ත්වය හා ආදායම් තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි.

“යුද්ධ කාලේ අපි ආදායම් නැතිව දුක්ඛිත ජීවිතයක් ගත කළේ, ඊට පස්සෙත් අපි සැකෙන් බයෙන් තමයි හිටියේ. ඒත් අද අපිට හොඳ අනාගතයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ගැන සන්තෝසයි. අද අලුත් ඉඩකඩම්වල අලුත් ඉදිකිරීම් නැවත ඇරැඹිලා තිබෙනවා. මට විතරක් නොවෙයි, අද ගොඩක් අයට රැකියා මේ නිසා ලැබිලා තිබෙනවා.

මේ අප සඳහන් කළේ අපට හමුවූ කිහිපදෙනෙකු හා නිලධාරින් පැවසූ අදහස්ය. එමෙන්ම එදා යුද කලාප ලෙස අතහැර තිබු මේ ප්‍රදේශ සියල්ලේම ජනතාවගේ දෑස් තුළින් අප දුටුවේ නව බලාපොරොත්තු හා අපේක්ෂාවන් රැසකි. ඒ බලාපොරොත්තු ඔවුන්ගේ දෙයැස් තුළ ලියැවී තිබුණි.

ඡායාරූප - රුක්මාල් ගමගේ