23042024Tue
Last update:Thu, 18 Apr 2024

කයිට්ස් දැරියගේ ඝාතකයන්ට විශේෂ අධිකරණයකින් උපරිම දඬුවම්

ජනපති යාපනයේ දී කියයි

පසුගියදා යාපනය ප්‍රදේශයේ පාසල් දැරියක අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වරදකරුවන්ට විශේෂ අධිකරණයක් හරහා උපරිම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එමෙන්ම මෙවැනි සිදුවීම් යළිත් කිසිදු අවස්ථාවක රට තුළ ඇතිවීමට ඉඩ තැබිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කෙළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (26) පෙරවරුවේ යාපනය ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරතවෙමින් උතුරු පළාත් පාසල් දරුවන් සමඟ පැවති හමුවකට එක්වෙමිනි.

ඊයේ පෙරවරුවේ යාපනය ප්‍රදේශයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනය වෙම්බඩි කාන්තා විද්‍යාලයේදී පාසල් දරුවන් සමඟ මෙලෙස කෙටි හමුවකට එක් විය.

පාසල් 17ක පමණ දරුවන් මේ අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ  ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවද විමසා බැලීය. තම පාසල්වල පවතින අඩුපාඩු කිහිපයක් පිළිබඳ මෙහිදී දරුවන් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, ක්‍රීඩාංගණ ඉදිකිරීම, ආචාර්යවරුන්ගේ හිඟය මෙන්ම විශේෂයෙන්ම වව්නියාව පාසල් දරුවන් මුහුණ දී සිටින ප්‍රවාහන ගැටලුව පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරිණි.

එම ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම අදාළ නිලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

ලිඛිතවද ගැටලු රැසක් ඉදිරිපත් කෙරුණු අතර වෙනමම නිලධාරියෙකු පත්කර එම ගැටලුවලටද කඩිනම් විසඳුම් ලබාදෙන බව පැවසීය.

අද යාපනයේ පාසල් දරුවන් අතර ව්‍යාප්ත වෙමින් පවතින මත් උවදුර පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කර විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පැවසීය.

අනතුරුව ජනාධිපතිවරයා යාපනය ආණ්ඩුකාර නිල නිවසේදී ඝාතනයට ලක්වූ දැරියගේ දෙමාපියන් හමු වූහ. ඔවුන්ගේ තොරතුරු විමසමින් අදාළ සිදුවීම් පිළිබඳ තම බලවත් කනගාටුවද ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව යාපනය නාග විහාරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත්තේය.

විහාරාධිපති හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අතර විහාරස්ථානයේ අඩු පාඩු කිහිපයක් පිළිබඳවද උන්වහන්සේ ජනාධිපතිවරයා දැනුවත් කළහ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරී යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.