24042024Wed
Last update:Thu, 18 Apr 2024

මූල්‍ය අපරාධ ඒකකයේ විමර්ශනවල සැකකරුවන්ට කෙළින්ම අධි චෝදනා

moneyපොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය යටතේ විමර්ශනවලට මුහුණදුන් පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ කෙළින්ම අධිචෝදනා පත්‍ර ගොනු කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

මේ අනුව මෙතෙක් සිදු කළ පරිදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු වෙනුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙනු ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය සැලකිල්ලට ගැනීමෙන් පසුව මේ පියවර කෙරෙහි අවධානය යොමු වී තිබේ.

එම අතුරු තහනම් නියෝගය පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් සිදු කරනු ලබන වෙනත් අත්අඩංගුවට ගැනීම් සඳහාත් බලපෑමක් ඇති කරන්නේ ද යන කරුණ සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ විවිධ අංශ අතර කතාබහක් මතුව තිබිණි.

රුපියල් මිලියන 620ක සිල් රෙදි වංචාව පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ පරීක්ෂණයේ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ මුලින්ම අධිචෝදනා පත්‍ර ගොනු කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 620ක් වැය කොට ජනාධිපතිවරණයට දින හතරකට කලින් බෞද්ධ බැතිමතුන් වෙත සිල් රෙදි බෙදාදීම ඔවුන්ට එරෙහිව විමර්ශනය කෙරුණු චෝදනාවයි.

ඒ පිළිබඳ කෙරුණු විමර්ශන මේ වනවිට සම්පූර්ණ කොට ඇති බවත් අදාළ සියලු තොරතුරු මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට ඇති බවත් මේ පිළිබඳ කරුණු දැක්වූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු ජනාධිපති සම්බන්ධීකාරක වටිනාපහ සෝමානන්ද හිමි සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන අය සම්බන්ධයෙන් මෙහිදී විමර්ශනය කෙරිණි.