20042024Sat
Last update:Thu, 18 Apr 2024

ජූලියේ ඡන්දයකට යා හැකියි

Wickremesinghe 89 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලය යළිත් තහවුරු වී තිබෙන බැවින් ජූලි මාසයේ දී පමණ ඡන්දයකට යාමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමෙන්ම 19 සංශෝධනයෙන් රටට සේවයක් සිදුව ඇතිමුත් මීට වඩා විශාල වෙනසක් සිදු කිරීමට නම් ජනමත විචාරණයකට යා යුතුව ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති කෙටි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“එකට වැඩ කළාම ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇතිවෙනවා. එවිටයි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ලෝකය පිළිගන්නේ. එවැනි ස්ථාවර පසුබිමක් ඇති කළාමයි විදේශ ආයෝජකයන් මේ රටට එන්නේ. මෙතනින් ඉදිරියට යන්න ඕනේ අනෙක් නීතිටික හදලයි. දූෂණය නැති කරලයි.

එළඹෙන මැතිවරණයේදී පාර්ලිමේන්තු සංයුතියේ වෙනසක් සිදු කරන්නේ දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා පැවසූයේ අලුත් ඡන්ද ක්‍රමයක් ගෙන එන්නේ නම් ජනතාව දැනුවත් කිරීමට වසර දෙක තුනක් ගතවන බවයි. නමුත් කෙතරම් අඩුපාඩු තිබුණ ද කළහැකි සංශෝධන සිදුකරන බව පවසන අගමැතිවරයා, ඊළඟ වතාවේ මීට වඩා වෙනස් ක්‍රමයක් ගෙන එන බව මතකයේ තබා ගත යුතු යැයි කීය.

එහෙත් මෙම වෙනස්කම් සිදු කළ යුත්තේ මීට පෙර යැයි පවසන රනිල් වික්‍රමසිංහ මහතා, ඒ කිසිවකටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එකඟ නොවුන බව ද සිහිපත් කළේය.

පෙර තිබූ විදේශ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළේ ඇයි දැයි නැඟූ පැනයට පිළිතුරු දුන් අගමැතිවරයා තම අදහස් ප්‍රකාශ කළේ මේ අයුරිණි.

“අපි හැමෝම එක්ක සම්බන්ධකම් තියෙන්න ඕනෙ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බැලුවේ‍ වෙන දෙයක්. ඔහු රටවල් ඔක්කොම තරහා කර ගත්තා. ඡන්දයෙන් පස්සේ පොරොන්දු වුණා යුද්ධය ‍පිළිබඳ පරීක්ෂණයක් පවත්වනවා කියා. එසේ කියා ආධාර ඉල්ලගත්තා. පොරොන්දු වුණ දේවල් කළේ නෑ. ඒ අනුවයි මේ ප්‍රශ්න ආවේ.”

“අපට තියන ලොකුම වෙළඳපොළ තමයි යුරෝපීය වෙළෙඳපොළ. අපි GSP + නැති කරගත්තා. අමෙරිකාව සමඟ තිබූ සම්බන්ධතා නැති කර ගත්තා. චීනය එක්ක සම්බන්ධතා ඇති කරගෙන මොකක්ද අපට තියෙන වැදගත්කම. අන්තිමට ඉන්දියාව එක්කත් හැප්පුනා. 13 වැනි සංශෝධනයෙන් අමතර බලතල දෙනවා කියලා ඉන්දියා අගමැතිතුමාට පොරොන්දු වුණා. අපි කවුරුවත් හිතන්නේ නැති එකක්. ඇයි එහෙම කරන්නේ. අපි දන්නවා 13ට වඩා ඉහළින් යන්න අපට අමාරුයි කියලා” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.