19042024Fri
Last update:Thu, 18 Apr 2024

මයුරන් ආවොත් කොටුව පොලිසියට දන්වන්න

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කරන බ්‍රිතාන්‍ය ගෝලීය දෙමළ සංසදයේ පුරෝගාමි සාමාජිකයකු වන මයුරන් සිවපාලන් නමැත්තා ශ්‍රී ලංකාවට පැමිණියහොත් වහාම කොටුව පොලිසියට දන්වන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේ ය.

කලක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයටම සම්බන්ධව ත්‍රස්තවාදි කටයුතුවල නිරත වූ බවට පැමිණිලි ලැබී ඇති මයුරන් සිවපාලන් නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර උපයෝගි කරගෙන වරින් වර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පෙන්වා දෙමින් කොටුව පොලිසිය ඉදිරිපත් කළ තොරතුරු වාර්තාවක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇති එම පුද්ගලයා උණ්ඩියල් ක්‍රමය නමින් හඳුන්වන නීති විරෝධි ක්‍රමයට ශ්‍රී ලංකාවේ සිට මුදල් ගණුදෙනු කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බැවින් සැකකරු පසුගිය වකවානුව තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති ද, එසේ පැමිණියේ නම් නැවත පිටව ඇති කාල වකවානු හා ඔහු භාවිතා කළ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවද කොටුව පොලිසිය එම වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.

මයුරන් සිවපාලන් නමැත්තා ජාත්‍යන්තර බුද්ධි අංශ සෙවණැලි සාමාජිකයකු ලෙස කටයුතු කරන නීතිඥවරයකු සමඟ 2005 වසරේ සිට අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකාවට පැමිණ එල්.ටී.ටී.‍ඊ. සාමාජිකයන්ට මුදල් දීම හා කොටි සංවිධානය ප්‍රති නිර්මාණය කිරීමේ කටයුතු සඳහා දැඩි දායකත්වයක් දරා ඇති බවට පැමිණිළි ලැබී ඇති බවත් කොටුව පොලිසිය එම තොරතුරු වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.