29032024Fri
Last update:Mon, 04 Mar 2024

නේපාලය නගාලීමට උදව් කළ අපේ හමුදාවට ලෝකයම දිනිය හැකියි

යුද හමුදාපති

n1505133නේපාල කත්මණ්ඩු නුවර සිදුවූ භූ චලන ව්‍යසනයෙන් විපතට පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට මෙරට ත්‍රිවිධ හමුදා භට පිරිස් කර ඇති කැපවීම තුළින් අපේ හමුදාව සටනේදී පමණක් නොව වෘත්තීය ක්‍රියාවලදීත් ලෝකයම දිනිය හැකි හමුදාවක් බව ලොවටම පෙන්වා ඇතැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පවසයි.

පසුගිය දින ගණනාවක් පුරා නේපාලය තුළ ඔවුන් කළ එම සුවිශේෂී ක්‍රියාන්විතය ලොවටම ආදර්ශයක් වී ඇති බවට ඊට දක්වා ඇති ප්‍රතිචාරවලින් ඔප්පු වී තිබේ. ඔවුන්ගේ එම කැපවීම අගයා නේපාල රජයත් තානාපතිවරු සහ නේපාල බනීෂා විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරුවන් වහන්සේද එම හමුදා භට පිරිස් වෙත සමරු තිළිණ සහ ඇගයීමේ සහතිකද මෙරටට එවා තිබේ.

යුද්ධ හමුදාපතිවරයා මේ තිළිණ සහ ඇගැයීම් සහතිකද, යුද්ධ හමුදාපතිවරයා විසින් ඔවුන් ඇගයීමට ලක් කරමින් සකස් කළ සමරු තිළිණ පත් ඊයේ යුද්ධ හමුදා මූලස්ථානයේදී ඔවුන් වෙත ප්‍රදානය කරනු ලැබිණි.

නේපාල කත්මණ්ඩු මෙහෙයුමට සහභාගී වූ යුද, ගුවන්, නාවික හමුදා නිලධාරීන් 144 දෙනෙක් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

නේපාල කත්මණ්ඩු නුවර භූ චලනය සිදුවී ඉතා කෙටි කාලයක් තුළ එරටට ගිය ප්‍රථම සහන කණ්ඩායම් බවට අපේ හමුදාවන් පත්වීම මෙරටට මහත් ගෞරවයක් බව යුද්ධ හමුදාපතිවරයා පැවසීය.

ත්‍රිවිධ හමුදාවට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරු සිවු දෙනෙක් රජයෙන් කළ ඉල්ලීමට ගෞරව කරමින් එරට ජනතාවට පිහිටවීමට හමුදාව සමඟ කැපවූ ආකාරයද හමුදාපතිවරයාගේ ඇගයීමට ලක් කළේය.

සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පිළිපදිමින් ගෞරවණීය සහ විනයගරුක, කාර්යක්ෂම, හමුදාවක් ලෙස අපේ හමුදා සහන කණ්ඩායම් කළ කැපවීම සුවිශේෂී කර්තව්‍යයක් බව පෙන්වා දුන් හමුදාපතිවරයා ඔවුන් ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි ලබා තිබූ පුහුණුව සහ එම මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බවද මෙහිදී පෙන්වා දුන්නේය.