20042024Sat
Last update:Thu, 18 Apr 2024

පළාත් පාලන ඡන්දය මහ මැතිවරණයෙන් පසුවයි

නිරුෂි විමලවීර බේරුවල සිට ...

President7aපළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මහ මැතිවරණයෙන් පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

අලුත් කොට්ඨාස ඡන්ද ක්‍රමය යටතේ මේ වසරේදී මෙම ඡන්දය පැවැත්වෙන බවද ජනාධිපතිවරයා කීවේය. පළාත් පාලන ආයතන 270 විසුරුවා හැර එහි බලය විශේෂ කොමසාරිස්වරයකු යටතට පැවරන බවද ජනාධිපතිවරයා පැවැසීය. ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ බේරුවල ප්‍රාදේශීය සභාව සහ පයාගල රාජිත සේනාරත්න ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (12) සහභාගි වෙමිනි.

විශේෂ කොමසාරිස්වරයකු ලෙස පත් කෙරෙන්නේ පළාත් පාලන ආයතනවල ලේකම්වරයා බවද හෙතෙම කීවේය.

දීර්ඝ කාලීනව විශේෂ කොමසාරිස්වරයකු යටතට පළාත් පාලන ආයතනවල බලය පැවරිය නොහැකි බැවින් ඡන්දය කඩිනමින් පැවැත්විය යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

මහා සංඝරත්නය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පළාත් සභා පළාත් පාලන නියෝජිතයින්, මහජනතාව විශාල පිරිසක් සහභාගිවී සිටියහ.