14032025Fri
Last update:Tue, 07 Jan 2025

අස්ගිරි මාහිමිපාණන්ට ජනපතිගෙන් සුබ පැතුම්

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහනායක පදවියට පත් ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සාභිධාන හිමිපාණන් වහන්සේට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් පණිවිඩයක් යවා තිබේ.

 එහි මෙසේ ද දැක්වේ. “අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විසි එක් වන මහනායක හිමිපාණන් වහන්සේ ලෙසින් අප මහනායක හිමිපාණන් වහන්සේ පත්වනුයේ දශක ගණනාවක් පුරා සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය ද රටේත් ජාතියේත් අභිවෘද්ධිය ද උදෙසා ඉටුකළ උතුම් මෙහෙවර හේතුකොටගෙනය.

අස්ගිරි පාර්ශවයේ මහ නායක ධුරය යනු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් හරසරින් පුදන ගරු කටයුතු සම්භාවනීය උතුම් පදවියකි. අන්තර්ජාතිකව ද පිදුම් ලබන වන්දනීය තනතුරකි.

දුරාතීතියේදී රාජ රාජ මහා මාත්‍යාධීන්ට අවවාද අනුශාසනා කරමින් විචක්ෂණ බුද්ධියෙන් අනාගතය දකිනා නුවණින් රට නිසි මඟට යොමුකළ පරපුරක නූතන කාර්යභාරය සපුරා ඉටු කිරීම සඳහාත්, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා නූතන සඟ පරපුරට නායකත්වය ලබාදීමටත්, අප මහ නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ද , ශක්තිය ද, ධෛර්යය ද, චිර ජීවනය ද ලැබේවායි ඉත සිතින් ආශිංශනය කරමි.