12032025Wed
Last update:Tue, 07 Jan 2025

තමිල්නාඩුව යළි කච්චතිව් ඉල්ලයි

කච්චතිව් දූපත යළි ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව දෙරටේ රජයන් විසින් අදාළ සාකච්ඡා පැවැත්විය යුතු බවට තම්ල්නාඩු ප්‍රාන්ත රජයේ රාජ්‍ය සභාවට අයත් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ, ඩී.එම්.කේ සහ සී.පී.අයි පක්ෂ මන්ත්‍රීවරුන් එම ඉල්ලීම සිදුකර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි..

ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පවත්වා ඊට අවශ්‍ය ක්‍රියාමර්ග ගත යුතු බවට එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙන අතර කච්චතිව් දූපත ඉන්දියාවට අහිමිවිමෙන් තමිල්නාඩු ධීවරයන්ගේ ජීවනෝපායට අහිතකර බලපෑම් එල්ල වන බවට ඔවුන් පෙන්වා දී තිබේ.. කච්චතිව් දූපත ලබාගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු රජය ඉදිරිපත් කළ පෙත්සමක් 2011 වසරේ සිට මේ දක්වා එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාග වෙමින් ඇතැයි වාර්තා වෙයි.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට භාරදීම ව්‍යවස්ථාපිත සංශෝධනයක් මඟින් සිදුකර නොමැති බවත් එය ඉන්දීය අපේක්ෂාවන්ට අනුගත වූවක් නොවන බවත් ප්‍රකාශකර තිබෙන තමිල්නාඩු මන්ත්‍රී කණ්ඩායම මේ සම්බන්ධයෙන් යළි සාකච්ඡා ආරම්භ කළ යුතු බවට සඳහන්කර ඇත. මෙය ශ්‍රී ලංකාවට පවරා දීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇති මතය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දී තිබෙන එම මන්ත්‍රී කණ්ඩායම 1974 වසරේ දී ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවට පවරාදුන් කච්චතිව් දූපත යළි පවරා ගත යුතු බවට ප්‍රකාශ කර තිබේ.