29032024Fri
Last update:Mon, 04 Mar 2024

දූෂණ චෝදනා එල්ල වූ මැති ඇමැතීන්ගේ පරීක්ෂණ අවසන්

ඉදිරි සතියේ නීතිමය පියවර

පසුගිය රජය සමයේ දූෂණ, වංචා පිළිබඳ චෝදනා එල්ල වූ මැති ඇමැතිවරුන් රැසක් පිළිබඳ රහස් පොලිසිය සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ පරීක්ෂණ මේ වන විට අවසන් වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම වංචා, දූෂණ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය කාලය පුරා ඒ ඒ චෝදනාවන්ට ලක්වූ මැති ඇමැතිවරුන් හා ඊට අදාළ රජයේ නිලධාරින් කැඳවා දිගින් දිගටම ප්‍රශ්න කරන ලදී.‍

මෙම විමර්ශනවලදී සිදු කළේ යැයි චෝදනා නැඟුණු මූල්‍ය අපරාධ ගණනාවක තොරතුරු සනාථ කර ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සමත් වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ ආකාරයෙන් විමර්ශන කටයුතු අවසන් කළ ලිපිගොනු සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියා සිටියි. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සිදුවිණැයි කියන දූෂණ, අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන කටයුතු සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ චෝගම් බස් රථ ගෙන්වීම සම්බන්ධයෙන් සිදුවූවේ යැයි කියන මූල්‍ය අපරාධ පරීක්ෂණ මේ වනවිට නිමාවට පත්ව ඇතැයි පෙන්වා දෙන එම ආරංචි මාර්ග, ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ද කියයි.