29032024Fri
Last update:Mon, 04 Mar 2024

රජය - විපක්ෂය එකඟතාවක සර්වපාක්ෂික හමුවේදී තීරණය වෙයි

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට 21දා සහ 22දා පැවැත්වීමට රජය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇතිවී තිබේ.

මෙසේ එකඟතාවය පළවී ඇත්තේ ඊයේ (19දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දේශපාලන පක්ෂවල නායකයින් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවැසුවේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට අනුව ඉදිරිපත් කළ ලියැවිල්ල එහිදී විවාදයට ගැනීමට එකඟ වූ බවය. මෙයට පෙර කමිටු අවස්ථාවේ දී ඉදිරිපත් කළ සංශෝධන සහිත ලියවිල්ල ඉදිරිපත් නොකිරීමට අදාළ සාකච්ඡාවේදී එකඟතාවයට පැමිණි බව ද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වී හෙට දිනය දක්වා කල් තැබීමට නියමිත අතර එම කාලය තුළ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ලියවිලි සම්පූර්ණ කර මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමෙන් පසුව හෙට (21දා) සහ අනිද්දා (22දා) ඒ පිළිබඳව විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ.