19042024Fri
Last update:Thu, 18 Apr 2024

ත්‍රස්තවාදයට එරෙහි අඛණ්ඩ සටනේ දී පාකිස්තානය ලබා දුන් සහායට ස්තුතියි

my3ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන ගිය සටනේදී මෙන්ම ගැටුම්වලින් අනතුරුව ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පාකිස්තානය ලබා දුන් අඛණ්ඩ සහයට ශ්‍රී ලංකාව අතිශයින්ම කෘතඥවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (6) පැවැසීය.

හෙතෙම මේ බැව් සඳහන් කළේ පාකිස්තානයේ අගමැති නිල නිවසේ පැවැති විශේෂ අවස්ථා කිහිපයකට පසුව සිය නිල කතාව කරමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පකිස්තානයේ ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ඊයේ (6) අගමැති නිල නිවස ඉදිරිපිට දී පැවැති අතර ජනාධිපතිවරයා නතර වී සිටි සෙරීනා හෝටලයේ සිට අගමැති කාර්යාලය දක්වා පොලිස් යතුරුපැදි හා ආරක්ෂක අංශ පිරිවරා ගත් වාහන පෙළපාලියකින් අගමැති නිල නිවස දක්වා කැඳවාගෙන ගිය අතර එහි දී අගමැති නවාස් ෂරීෆ් මහතා විසින් ජනපතිවරයා සුහදශීලීව පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා හා පාකිස්තානු අගමැතිවරයා අතර පැවැති තනි සාකච්ඡාවලින් අනතුරුව නියෝජිත කණ්ඩායම් හා එක්ව සාකච්ඡා පැවැත්විය. මෙම සාකච්ඡාවලින් අනතුරුව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, ආපදා කළමනාකරණ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරුන් පාකිස්තානු රජයේ ඇමැතිවරුන් හා අග්‍රාමාත්‍ය ආරක්ෂක උපදේශකවරයා සමඟ ගිවිසුම්වලට අත්සන් කරනු ලැබිණි.

ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල වශයෙන් ප්‍රකාශයක් කරමින් මෙසේ ද කීවේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස මා තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව පාකිස්තානයේ නිරත වූ මාගේ පළමු සංචාරයේදී මා අතිශයින් සතුටට පත් වූ බව ප්‍රකාශ කරමින් මගේ කථාවට මුල පුරමි. ශ්‍රී ලංකාව සමඟ පවත්වන විශේෂ සබඳතාව සංකේතවත් කරමින් පාකිස්තානයේ දී මට ලබා දුන් උණුසුම් පිළිගැනීම වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතිය පළ කරමි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුහද සුබපැතුම් හා සුබාශිංසන, පාකිස්තානයේ සිටින අපගේ සහෝදර සහෝදරියන් වෙත පිළිගන්වමි.

පාකිස්තානයේ හා ශ්‍රී ලංකාව අතර සබඳතාව දශක හයකට අධික කාලයක් දක්වා දිව යයි. එම සබඳතාව, සැබෑ මිත්‍රත්වයෙන්, අන්‍යෝන්‍ය ගරුත්වයෙන්, අවබෝධයෙන් හා විශිෂ්ට සහයෝගීතාවයෙන් සමන්විත වෙයි. අප නිදහස ලබා ගැනීමෙන් අනතුරුව එළඹි අවදියේ දී උදාවු තීරණාත්මක අවස්ථාවලදී අපි එකිනෙකා අතර පැවැති සහයෝගීතාවයෙන් නැගී සිටීම පිළිබඳ විශේෂයෙන් සතුටක් ගෙන දෙයි.

ත්‍රස්තවාදයට එරෙහිව අප ගෙන ගිය සටනේදී මෙන්ම ගැටුම්වලින් පසු අවදියේ දී ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පාකිස්තානය අප වෙත ලබා දෙන අඛණ්ඩ සහාය වෙනුවෙන් ශ්‍රී ලංකාව අතිශයින් කෘතඥ වෙයි. එය අප දෙරට අතර භුක්ති විඳින මිත්‍රත්වයේ පිළිබිඹුවක් වෙයි.

මෙම උදෑසන පැවැති මාගේ සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රවණතා සමහරක් පිළිබඳ විශේෂයෙන්, ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණය ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ශක්තිමත් කිරීමට සහ අප රටේ උදාවී ඇති සාමයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාව තුළ සිටින සියලුම ප්‍රජාවන් භුක්ති විඳින බවට සහතික වීම සම්බන්ධයෙන් ඇප කැප වන දින 100 වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමා සහ අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා වෙත කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව එළඹිණි.

අග්‍රාමාත්‍ය ෂරීෆ් මහතා හා මා අතර පුළුල් පරාසයක විහිදුණු සාකච්ඡා පැවැති අතර, ද්විපාර්ශ්වික සහයෝගිතාවේ සියලුම අංශ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින්, දෙරටටම සහ එහි ජනතාවට යෝග්‍යයැයි සිතන ආකාරයට අපගේ සබඳතා සම්බන්ධයෙන් අතිවිශේෂ විශිෂ්ටතාවක් ඇති කර ගැනීමට අපගේ සහ‍යෝගිතාව අප වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳ අපි එහිදී අදහස් හුවමාරු කර ගත්තෙමු. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලු පිළිබඳද අපි සාකච්ඡා කළෙමු.

මේ සම්බන්ධයෙන්, මගේ රට පාකිස්තානය සමඟ දරන පුළුල් පරාසයකින් යුත් පාර්ශ්වකාරිත්වයේ සුවිශාල වටිනාකම පිළිබඳද අපගේ සාකච්ඡාවට ලක්විය. මීට සුළු වේලාවකට පෙර අත්සන් තබන ලද ගිවිසුම් කිහිපය මඟින්, ආපදා කළමනාකරණය, ක්‍රීඩා, නාවික කටයුතු, සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය යොදා ගැනීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව සිදුකරන කටයුතු හා පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ජාත්‍යන්තර හා ක්‍රමෝපායික අධ්‍යයන සඳහා ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය (LKIIRSS) අතර අධ්‍යයන සහයෝගිතාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අතිරේක නෛතික රාමු සපයනු ඇත.

දෙරට අතර පවත්නා අපගේ ආර්ථික සබඳතා තවදුරටත් ප්‍රාණවත් කිරීම සඳහා පියවර ගැනීමට අපි එකඟ විමු. සීනි, සිමෙන්ති, ඖෂධ ආශ්‍රිත ක්ෂේත්‍ර කීපයක් සඳහා පාකිස්තාන ආයෝජන ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ද මම දැන්විමි. නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ කටයුතු පුළුල් කිරීමට හා වර්ධනය කිරීමට අපි එකඟ විමු. රේගු කටයුතු පිළිබඳ සහයෝගිතාව, වෙළෙඳ ආරවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රණ සහ බදු හා බදු නොවන සීමා යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගැනීමට කටයුතු කිරීම අපගේ නිලධාරින් වෙත පැවරෙනු ඇත.

අප ලබන පුහුණු අවස්ථා ඇතුළුව, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පාකිස්තානය ලබා දෙන අගනා සහයෝගිතාව.මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පාකිස්තානයෙන් අපට ලබා දෙන විශේෂ සහ‍යෝගිතාව, මෙම සහයෝගිතාවේ ප්‍රතිපලයක් ලෙස මෑතකදී මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ප්‍රබල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම හා පාකිස්තානයෙන් නෙරපා දැමීම සිදුවිණි.අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීමට ඇ.ඩො. මිලියන 1ක ප්‍රදානයක් ලබාදීම.

ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඇ.ඩො. මිලියන 200ක ණය පහසුකම ශිෂ්‍යත්ව ලබා දීම් ඇතුළුව, පාකිස්තාන තාක්ෂණික සහාය වැඩසටහන් යටතේ අධ්‍යාපනය හා තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් පාකිස්තානයෙන් අපට ලැබෙන සුවිශාල සහාය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා වෙත මගේ ස්තුතිය පුද කළෙමි.ශ්‍රී ලංකාව ප්‍රදානය කරන ජනාධිපති ශිෂ්‍යත්ව යටතේ පාකිස්තාන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රතිලාභ සැලසෙයි. දෙරට අතර පැවැති ගුවන් සබඳතාව තවදුරටත් ප්‍රාණවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන දැඩි උනන්දුව පිළිබඳව ද සඳහන් කළ ‍මම ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් යළිත් වරක් ආරම්භ කරන ලෙස පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සමාගම (PIA)ට ආරාධනා කළෙමි.

දැනට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ මිහින් එයාර් ගුවන් සමාගම කොළඹ සිට කරච්චි හා ලාහෝර් දක්වා සතියකට ගමන් වාර 10ක් පවත්වා ගෙන යයි. 1948 වසරේ දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමට පෙර, ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ ජනතාව අතර ශිෂ්ටාචාරාත්මක සබඳතා පැවැතිණි. ගාන්ධාර උරුමය හා දෙරට අතර ඉපැරැණි සබඳතා පිළිබඳ අධ්‍යයන හා සංචාරක පිරිස් ඒකාබද්ධ පර්යේෂණ හා දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරනු ඇත.

අපගේ සබඳතාවේ වඩාත් ක්‍රියාශීලී ප්‍රගමනයක් ඇති කිරීම සඳහා මෙම සංචාරය මඟින් ජනිත කර ඇති දෙරට අතර සිදුකරන කටයුතු පිළිබඳ උද්‍යෝගිමත්භාවය හා පුළුල් අවබෝධය මඟින් අපිට ශක්තියක් හා ආදර්ශයක් ලබා ගත හැකිය. අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමාට පහසු දිනයක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලෙන ලෙස මම ආරාධනා කර තිබේ. අපගේ ප්‍රබල මිතුදම සඳහා මෙම සංචාරය මඟින් තවදුරටත් ශක්තියක් ගෙන දෙන බව කිසිදු සැකයක් නොමැත.

මෙම අවස්ථාවට වාණිජ හා කර්මාන්ත ඇමැති රිසාද් බදියුදින් මහතා ඇතුළු නිලධාරින් රැසක් ද සහභාගි වූහ.