17072024Wed
Last update:Wed, 08 May 2024

‘ඉන්ෆොටෙල්-2015’ සාර්ථකයි

harinකොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැති 'ඉන්ෆොටෙල් - 2015' තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනය අති සාර්ථක වූ බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයේ සභාප‍ති (ෆිටීස්) චින්තක විජේවික්‍රම මහතා පවසයි. 'ඉන්ෆොටෙල් - 2015' ප්‍රදර්ශනයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ දෙස් විදෙස් සමාගම්වල විධායක නිලධාරීන් පිළිගත් වෘත්තිකයන් ප්‍රතිපත්ති සම්පාදකයන් ව්‍යවසායකයන් අධ්‍යාපනඥයන් පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් ආචාර්යවරුන් සාමාන්‍ය ජනතාව ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගී වූ බව විජේවික්‍රම මහතා වැඩිදුරටත් පැවැසීය.

'ඉන්ෆොටෙල් 2015' ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විශාලතම සහ ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනය වේ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශයේ සමාගම් රාශියක සහයෝගය ඇතිව එය සංවිධානය කරනු ලබයි.

'ඉන්ෆොටෙල් - 2015' ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන බවයි.

හොං කොං රජයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිළධාරී ඇලන් යෙන්ටැක්, ෆිටීස් ආයතනයේ සභාපති චින්තක විජේවික්‍රම, ඉන්ෆොටෙල් - 2015 සංවිධාන කමිටුවේ සභාපති ඩෙරික් ෆර්ඩිනැන්දුස්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක දිලීප විජේසුන්දර, ඩෙල් ශ්‍රී ලංකා සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු රොෂාන් නුගවෙල, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්තාන් කනගේ යන මහත්වරු මෙහිදී කතා කළහ.

'ඉන්ෆොටෙල් - 2015' ප්‍රදර්ශනයට සමගාමීව පාසල් සිසුන් සහ ගුරුවරු සඳහා පැවැති වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන්වලට පාසල් 100ක ගුරුවරු 800ක් සහ සිසුන් 10000ක් සහභාගි වූහ. එසේම 'ව්‍යාපාරික සමුළුව' සඳහා ප්‍රධාන පෙළේ සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් 100ක් පමණ සහභාගී වූහ. තොරතුරු තාක්ෂණය සඳහා කාන්තාවන් බලගැන්වීමේ සමුළුවට කාන්තාවන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර එහි ප්‍රධාන අමුත්තා වූයේ අගමැති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මියයි. සිංගප්පූරුවේ ඉන්ෆෝකොම් තාක්ෂණ සම්මේලනයේ විධායක අධ්‍යක්ෂ හෝ සී මුම් 'කාන්තාව සහ තොරතුරු තාක්ෂණය' යන මැයෙන් ප්‍රධාන දේශනය පැවැත්වූවාය.