19042024Fri
Last update:Thu, 18 Apr 2024

ජගත් බොදු සමුළුව මුල්වරට 20දා යාපනයේ දී

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දීය සහ ශ්‍රී ලාංකික බෞද්ධ සංවිධාන රැසකගේ එකමුතුවෙන් ජාත්‍යන්තර තලයේ බොදු සමුළුවක් යාපනයේ දී පැවැත්වීමට දෙරටේම බෞද්ධ හා සමාජ සංවිධාන කිහිපයක් මුල් වී ඇත.

 ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ වෙනුවෙන් සියලු පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.

මේ සමුළුව මැයි මස 20 වැනි දින දවස පුරා යාපනය වීරසිංහම් ශාලාවේ දී, දෙරටේම බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගේ ද සහභාගිත්වය ඇතිව උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන බව, එම සමුළුවේ ප්‍රධාන සංවිධායක මදුරාසි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයේ මහාචාර්ය ත්‍රිපිටකාචාර්ය මදුරෙයි වාඩ්පටිටි බෞද්ධ විහාරස්ථානාධිපති මදුරෙයි බෝධිපාල නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියි.

“මහා කරුණා ජාත්‍යන්තර බොදු සමුළුව” නමින් නම් කර ඇති මේ බෞද්ධ සම්මේලනයට ඉන්දියාව, සිංගප්පූරුව, බුරුමය, චීනය, ජපානය, කොරියාව, එංගලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවලට අයත් ථේරවාදී මහායාන සහ බුද්ධයාන කොටස්වලට සම්බන්ධ බෞද්ධ සංවිධාන රැසකට අයත් බැතිමතුන් සහභාගී වන බව දන්වා ඇත.

බුදුන් වහන්සේගේ අපරිමිත වූ “මහා කරුණා ගුණය” ඉස්මතු කරමින් ඉදිරිපත් කෙරෙන අධ්‍යාත්මික, විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වැදගත්කමින් යුත් පත්‍රිකා ගණනාවක් මේ සමුළුවට ඉදිරිපත් වන අතර, ඒවායින් පළකෙරෙන අදහස් ලෝක සාමය හා ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීම පිණිස ලෝවැසි ප්‍රජාව අතරට සමාජගත කිරීම පිළිබඳව මෙහි දී පුළුල් වශයෙන් සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇත.

සමුළුවේ ආරම්භක සැසිවාරය උතුරු පළාත් ආණ්ඩුකාරවර එච්. එම්. ජී. එස්. පලිහක්කාර මහතා ප්‍රමුඛ එහි දේශපාලන නායකත්වයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන අතර, එම අවස්ථාවට ආරාධිත විශේෂ අමුත්තා වශයෙන් බුද්ධශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍ර පාලනය පිළිබඳ ඇමැති කරු ජයසූරිය මහතා සහභාගී වෙයි.

නැවත පදිංචිකිරීමේ , පුනරුත්ථාපන හා හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ඩී. එම්. ස්වාමිනාදන් මහතා ද එම අවස්ථාවට සමස්ත හින්දු ප්‍රජාව නියෝජනය කරමින් ඊට සහභාගී වනු ඇත.

ගත වූ වසර කිහිපයේ මේ බොදු සමුළුව ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් මුල්කර ගෙන පැවැති අතර, ශ්‍රී ලංකාවේ පැවැති යුදමය තත්ත්වය පහව යාමෙන් පසුව, බහුවිධ ජාතීන් හා ආගම් රැසක් පවත්නා ශ්‍රී ලංකාවේ පවත්නා ජාතික සමඟිය හා සංහිඳියාව අගය කරනු වස් 2015ට නියමිත සමුළුව ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹ දී පැවැත්වීමට මුලින් යෝජනා වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් කතිකාවන් පැවැත්වෙන අතරතුර, යාපනය තමිල් බෞද්ධ සංගම් සහ යාපනය විශ්වවිද්‍යාලය මඟින් ද කරන ලද ඉල්ලීමකට ඇහුම්කන් දීමක් වශයෙන් මෙවර සමුළුව සිංහල හා දෙමළ බැතිමතුන් වැඩි පිරිසකට ද සහාගීවීමට හැකිවනු පිණිස යාපනය වීරසිංහම් ශාලාවේ දී පැවැත්වීමට පියවර ගත් බව ද මහාචාර්ය මදුරෙයි බෝධිපාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියහ.

ශ්‍රී ලංකාවේ ‍නියෝජිත පිරිසේ මූලිකත්වය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්, දරණු ලබන අතර, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක නාගොඩ අමරවංශ හිමිපාණන්, අමරපුර මහා සංඝසභාවේ ලේඛකාධිකාරී කිළිනොච්චි විහාරය සහ කොළඹ දෙමටගොඩ නාග විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ සීවලී හිමිපාණන් සහ කොළොන්නාව මංගල විහාරාධිපති, බොරැල්ලේ කෝවිද හිමිපාණන් ද දෙමළ බසින් ධර්ම සන්නිවේදනය කරන හිමිපාණන් වහන්සේලා වශයෙන් මේ සමුළුවට සහභාගීවීමට ආරාධනා කරනු ලැබ ඇත. ලංකා බැංකුවේ මෙට්ට්‍රොපොලිටන් ශාඛාවේ ප්‍රධාන කළමනාකාර කොළඹ තමිල් බෞද්ධ සංගමයේ ප්‍රධාන ගිහි අනුශාසක තමිල් පණ්ඩිත් ආචාර්ය මඩුළුගිරියේ එන්. විජේරත්න මහතා සමුළුවේ පවත්නා සියලුම දේශන දෙමළ බසට හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ඇත.

මේ බොදු සමුළුවට සහභාගීවනු පිණිස ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් නියෝජනය කරමින් විද්වත් බෞද්ධ බැතිමතුන් හැත්තෑවක් පමණ පිරිසක් හෙට (19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණෙන බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. ඒ සමඟම තමිල්නාඩුවෙන් ස්වාමින්වහන්සේලා ද වැඩම කරන බව ද උන්වහන්සේ සඳහන් කරයි.