29032024Fri
Last update:Mon, 04 Mar 2024

පක්ෂ අතර එකඟතාවක් නැත්නම් 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවට

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරි සතිය ඇතුළත දේශපාලන පක්ෂ අතර එකඟත්වයක් ඇති නොවුණොත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ කාර්යය එළඹෙන මැතිවරණයෙන් පසු පත්වන අලුත් පාර්ලිමේන්තුවට පැවරෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.

දේශපාලන පක්ෂ රාශියක් පසුගිය දින කිහිපය තිස්සේ මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළත් ඒ පිළිබඳ අවසන් එකඟතාවක් ඇතිවන ලකුණු ඉරිදා රාත්‍රිය වන විටත් පෙනෙන්නට නොතිබිණි.

සුළු පක්ෂ 20ක නියෝජිතයන් පසුගිය සිකුරාදා රාත්‍රියේ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ප්‍රධාන කරුණු 3ක් සම්බන්ධයෙන් ඒකමතික එකඟත්වයකට එළඹුණු බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

ඒ අනුව මැතිවරණ ක්‍රම සංශෝධනය හදිසි පනතක් වශයෙන් ඉදිරිපත් නොකළ යුතු බවටත්, එළඹෙන මහ මැතිවරණය පවතින ඡන්ද ක්‍රමය යටතේම පැවැත්විය යුතු බවටත්, මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව අතර පුළුල් සංවාදයක් ගොඩනැඟිය යුතුබවටත් ඒකමතික එකඟත්වයක් සියලුම සුළු පක්ෂ ඇතිකරගත් බව ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

මෙසේ එකඟත්වයකට එළඹුණු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමට කටයුතු කරන බවට ද ඔහු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ සුළු පක්ෂ නියෝජිතයන් අතර ඉරිදා රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මාසය අවසන් වීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරන අතර ඊට පෙර මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවුණහොත් 20 වැනි සංශෝධනය සම්මත කිරීමේ කාර්යය අලුත් පාර්ලිමේන්තුවට පැවරීම සම්බන්ධයෙන් සුළු පක්ෂවල විරුද්ධත්වයක් නැතැයි ද ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වන්නේ මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථමයෙන් නව මැතිවරණ ක්‍රමය සම්මත කළ යුතු බවයි. මේ නිසා මෙම කරුණ සම්බන්ධයෙන් සුළු පක්ෂවල මතය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අතර පරස්පරතාවක් මතු වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම් නිහම් කාරියප්පර් මහතා මේ පිළිබඳ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ඉදිරි සතිය තුළ දේශපාලන පක්ෂ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක හමුවක් අද (11) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී එකඟත්වයක් ඇති වුවහොත් නව මැතිවරණ ක්‍රමය ලබන 13 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, එකඟත්වයක් ඇති නොවුණොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයා පසුගිය සෙනසුරාදා තමන්ට පොරොන්දු වූ බව ජවිපෙනායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ප්‍රකාශ කළේය.